රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක මකුලෑවේ විමල නාහිමියෝ

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක මකුලෑවේ විමල නාහිමියෝ

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක මකුලෑවේ විමල නාහිමියෝ

මහනුවර මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර මහ විහාරාධිපතිව වැඩවිසූ මහ විහාර වංශික ශ්‍රී ලංකා රාමක්ඤ මහ නිකායේ 13වන මහනායක ධූරය හෙබවූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියන් පත්වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ විශේෂ කාරක සංඝ සභාව මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවානාගාරයේදී (22) රැස්ව මකුලෑවේ විමලාභිධාන මහනාහිමියන් මහනායක පදවියට ඒකමතිකව තෝරා පත්කර ගත්හ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ධූරයේ 2020 සැප්තැම්බර් 25දින සිට කටයුතු කරමින් සිටි මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ එම පාර්ශ්වයේ අධිකරණ සංඝනායක, සංඥා ලේඛකාධිකාරී ඇතුළු පදවි රැසක් හොබවමින් රාමඤ්ඤ නිකායටත් සම්බුදු ශාසනයටත් උදාර සේවයක් කළ ධර්මධර, විනයධර සංඝ පීතෘ නමකි.

උන්වහන්සේ වෙත ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්ති ධර, සිරිසරණංකරෝපසේන වංශාලංකාර, ශාසන සෝභන යන ගෞරව සම්මාන උපාධි රැසක්ද ප්‍රධානය කර ඇත. 2019 මාර්තු 20දින මියන්මාර් රජය මගින් උන්වහන්සේට අග්ගමහ පණ්ඩිත උපාධිය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 14 වන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙස පත්වූ විමලාභිධාන මහනාහමියන් සම්බුදු සසුණටත් අපවත්වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර, අති පූජ්‍ය නාපාන පේමසිරි නාහිමිවරු වැනි සම්භාවනීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පස්නමක් යටතේ තම නිකායට අමිල මෙහෙවරක් ඉටුකර තිබේ. ව්‍යක්ත, විනීත, විශාරද, ධර්මදර හිමිනමක් වූ උන්වහන්සේ දෙස් විදෙස් සුපතල ත්‍රෛනිකායේම සම්භාවනාවට පාත්‍ර වූ මෙරට සඝ පරපුරේ පහළ අග්‍රගන්‍ය ව්‍යත් පඬිරුවනකි.

උන්වහන්සේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ 45 නැගෙනහිර කෝරළයේ ගල්ගමුව මකුලෑව නම් සුන්දර ගම්පියසේ 1948ක් වූ අගොස්තු මස 25 දින එච්.එම් කිරිබණ්ඩා නමින් ජන්ම ලාභය ලැබීය.

හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ හා ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ උන්වහන්සේගේ දෙමව්පියෝ වූහ. නිතලව ඤාණිස්සර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ 1959දී මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණ් විහාරස්ථානයට පැමිණ 1960 මාර්තු මස 24දින ලෝලුවාගොඩ මහේන්ද්‍රාරාමාධිපතිව වැඩවිසූ දිශාපාලක වේවැල්දෙණියේ නන්දසිරි මහනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද ස්වාමින්වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට එළඹුණු උන්වහන්සේ 1969 ජූලි 22දින කොළඹ තොටලඟ කල්‍යාණි නදී සීමාමාලකයේදී උපසම්පදාව ලැබූහ.

මූලික අධ්‍යාපනය වර්ෂ 1967 වසරේදී මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන නාහිමි මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණි විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රවේදී පිදුමේරතන නාහිමි සහ ශාස්ත්‍රවේදී ලෝලුවාගොඩ ඤාණරත්න නාහිමිවරු වෙතින් ලබාගත් උන්වහන්සේ ප්‍රාචීන, ප්‍රාරම්භය, මධ්‍යම ආදි විභාගවලින් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා 1971දී අනුරාධපුර බුද්ධශ්‍රාවක පීඨයට ඇතුළත් වූහ.

මකුලෑවේ මහානාහියෝ 1974 වසරේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධියද 1976 බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ ත්‍රිපිටකවේදී උපාධියද 1976දී පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලබාගත් උන්වහන්සේ කොළඹ මාලිගාකන්දේ විද්‍යයෝදය මහ පිරිවෙණේ සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පැවැත්වූ සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි හිමිකර ගත්හ. කැලණිය සරසවියට ඇතුළත්ව 1982 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද 1990 දී එම සරසවියේ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත් උන්වහන්සේ 1983 දී මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණේ පරිවේණාධිපති ලෙස පත්වූහ. වර්ෂ 1983 සිට 2019 දක්වා එම පිරිවෙණේ කෘත්‍යාධිකාරී ලෙසද කටයුතු කළ මහනාහිමියෝ 2014 ජූනි 17දින මිණිඔළුව පිරිවෙණේ මහ විහාරාධිපති ධූරයට පත්වූහ.

සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දුනීසියාව, පකිස්තානය, කැනඩාව, ඉතාලිය, ඔස්ට්‍රියාව, ඔස්ටේලියාව ඇතුළු රටවල් රැසක උන්වහන්සේ ධර්මදූත සේවාවේ නිරතව ඇති උන්වහන්සේ ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ දීර්ඝ කාලයක් වැඩවාසය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *