කොරෝනා මරණ භුමදානය ගැන හිමිවරු කී කතා බොරු

කොරෝනා මරණ භුමදානය ගැන හිමිවරු කී කතා බොරු

කොරෝනා මරණ භුමදානය ගැන හිමිවරු කී කතා බොරු

කොරෝනා ආසාදනයෙන් මිය යන සියලු දෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙසට සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි සිංහල රාවය ජාතික සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් උපුටා දක්වමින් දිවයින පුවත්පත වාර්තා කර ඇති පුවතේ කරුණු අසත්‍ය බව MediaLK කළ සොයා බැලීමකදී තහවුරු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නිර්දේශවල කිසිම තැනක ආදාහනය පමණක් කරන්නැයි සඳහන් වී නැති අතර සඳහන් වන්නේ ආදාහනය හෝ භුමදානය යන දෙකෙන් ඕනෑම එකක් කළ හැකි බවයි.

දිවයින පුවත්පතේ 11 වැනි පිටුවේ (16) “ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයට පිටින් මුස්ලිම් මරණ භුමදානය කිරීම අසාධාරණයි” යන සිරස්තලය සහිතව වාර්තා කර තිබූ පුවතේ මෙලෙස සඳහන් වෙයි.

දිවයින පුවත්පත

“කොරෝනා ආසාදනයෙන් මිය යන සියලු දෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබියදීත් මිය යන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහ භුමදානය කිරීමට ප්‍රයන්ත දැරීම බලවත් ආසාධාරණයක් බව සිංහල රාවය ජාතික සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ පැවසූහ.”

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළව නිකුත් කර ඇති නිර්දේශවල සඳහන් වන්නේ මෙසේය.

“COVID-19 ආසාදිතව මියගිය පුද්ගලයන් දේශීය සම්මතයන්ට සහ පවුලේ අයගේ අභිමතය අනුව භූමදානය හෝ ආදාහනය කළ හැකිය” (එහි ඉංග්‍රීසියෙන් මෙසේ පැහැදිලිව සඳහන් වෙයි – People who have died from COVID-19 can be buried or cremated according to local standards and family preferences)

බෝවන රෝගයකින් මියගිය අය ආදාහනය කළ යුතු බව පොදු මිත්‍යාවක් මිස එය සත්‍යයක් නොවන බවත් එය තහවුරු කිරීමට සාක්ෂි නොමැති බවත් ආදාහනය කිරීම සංස්කෘතික තේරීම හෝ පවතින සම්පත් පිළිබඳ කාරණයක් පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය එම නිර්දේශවලින් අවධාරණය කරයි.

දයාරත්න හිමියන් උපුටා දක්වමින් එම දිවයින පුවතේ මෙලෙසද සඳහන් කර තිබේ.

“මේ පිළිබඳව පැහැදිලිවම ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබෙන්නේ එම මෘත දේහවලින් විශාල විෂබීජ ප්‍රමාණයක් පරිසරයට මුදාහැරෙන නිසා එම දේහයන් ආදාහනය කරන ලෙසටයි.”

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නිර්දේශවල සඳහන් කර ඇත්තේ රක්තපාත උණ (ඉබෝලා, මාබර්ග් වැනි) සහ කොලරාව හැරුණු විට, මළ සිරුරුවලින් සාමාන්‍යයෙන් මෙලෙස රෝග බෝ නොවන බවයි.

මරණ පරීක්ෂණය අවස්ථාවේදී නිසි පරිදි කටයුතු නොකළොත්, වසංගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ පෙණහලුවලින් පමණක් ආසාදිත විය හැකි බවද එසේ නොමැතිනම් මළ සිරුරු රෝග සම්ප්‍රේෂණය නොකරන බවද එම නිර්දේශවල සඳහන් වෙයි. වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ සිරුරු වලට නිරාවරණය වීමෙන් වෛරසය ආසාදනය වී ඇති බවට අද දක්වා කිසිදු සාක්ෂියක් නොමැති බව ද එම සංවිධානය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයන්ගේ ගෞරවය, ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන් සහ ඔවුන්ගේ පවුල්වල සම්ප්‍රදායන්වලට ගෞරව කළ යුතු මෙන්ම ඒවා ආරක්ෂා කළ යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය සංවිධානය COVID-19 ආසාදිතව මියගිය අයගේ දේහයන් කඩිමුඩියේ බැහැර කිරීම වළක්වා ගත යුතු බව ද නිර්දේශවලින් පෙන්වා දෙයි.

බලධාරීන් සෑම තත්ත්වයක්ම එක් එක් සිද්ධිය අනුව කළමනාකරණය කළ යුතුයැයි ද පවුලේ අයිතිවාසිකම්, මරණයට හේතුව විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය සහ ආසාදනයට නිරාවරණය වීමේ අවදානම යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි ද එම සංවිධානය නිර්දේශවල දක්වා තිබේ. අවශ්‍ය නම් පවුලේ සාමාජිකයන් විසින් භූමදානය කිරීමේ කටයුතු සිදු කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය එම නිර්දේශවල සඳහන් කර ඇත.

එමෙන්ම දිවයින (16) පුවත්පතේ 05 වැනි පිටුවේ ද භුමදානය සම්බන්ධයෙන් තවත් අසත්‍ය කරුණු සහිත පුවතක් පළ වී තිබූ අතර “කොරෝනා මරණ ගැන අවසාන තීරණය ගැනීමට මග” යන සිරස්තලය සහිතව එම පුවත පළ වී තිබිණි.

දිවයින පුවත්පත

ධර්ම පරියේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි රචිත යැයි සඳහන් එම පුවතේ මෙසේ දැක්වෙයි.

“වසංගත කොරෝනා රෝගය වැළඳී රෝගියෙක් මියගිය කල්හි රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිණිස දේහය ආදාහනය (පුළුස්සා දැමීම) කිරීම ලෝක සම්මත සෞඛ්‍යාරක්ෂිත නිර්දේශයයි.”

නමුත් ලෝකයේ රටවල්වලින් භුමදානය තහනම් කර ඇති බවට පැහැදිලි වාර්තා පවතින්නේ රටවල් දෙකක පමණි. එම රටවල් දෙක වන්නේ ශ්‍රී ලංකාව සහ චීනයයි.

එමෙන්ම සාමාන්‍යයෙන් පිලිගන්නා නිර්දේශ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සැලකිය හැකි අතර මීට අමතරව රටවල් රැසක නිර්දේශවල ද සඳහන් වන්නේ භුමදානය හෝ ආදාහනය ⁣සිදුකළ හැකි බවයි.

අැමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එනම් සීඩීසී ආයතනය නිකුත් කළ මාර්ගෝපදේශ වලද සඳහන් වන්නේ අවමංගල්‍ය කටයුතු සිදු කරනු ලබන්නේ භූමදානය කිරීමෙන් හෝ ආදාහනය කිරීමෙන්ද යන්න COVID-19 වෛරසයට බලපාන්නේ නැති බවයි. ( එය සීඩීසිය මෙසේ සඳහන් කරයි – COVID-19 does not need to affect whether the funeral takes place through burial or cremation)

එමෙන්ම කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කැනඩා මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය (අයිපීසී), කැනඩා මහජන සෞඛ්‍ය ඒජන්සිය සහ කැනඩාවේ අවමංගල්‍ය සේවා සංගමය
එක්ව සකස් කළ මාර්ගෝපදේශවලද සඳහන් වන්නේ භුමිදානය හෝ ආදාහනය යන දෙකෙන් ඕනෑම එකක් සුදුසු බවයි.

එමෙන්ම රෝග පාලනය හා වැළැක්වීම සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය (ECDC) නිකුත් කළ නිර්දේශවලද සඳහන් වන්නේ කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය මෙන්ම භුමිදානය ද කළ හැකි බවයි.

කොරෝනා ආසාදිතව මියගිය අයගේ සිරුරු හැසිරවීම මගින් වෛරසය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බව ද එහි සඳහන් වෙයි.

ඇමෙරිකාව, යුරෝපය, ඉන්දියාව, ඉරානය, බ්‍රසීලය, ඉන්දුනීසියාව, බෙල්ජියම, යුක්රේනය, ප්‍රංශය, හොන්ඩියුරාස්, ඇතුළු රටවල් රැසක සෞඛ්‍ය නිර්දේශවල සඳහන් වන්නේ ද භුමදානය හෝ ආදාහනය සිදු කළ හැකි බවයි.

– medialk.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *