සුපිරි වෙළෙඳසැළට ගිය පාස්කු ප්‍රහාරකයෝ – CCTV දර්ශන සහිතයි

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලකළ සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් ආරක්ෂක නිවසක් ලෙස භාවිත කළ පානදුර සරික්කිමුල්ල, පරත්ත පාර ප්‍රදේශයේ නිවස කුලියට ගෙන ඇත්තේ සපත්තු අළෙවි කරන්නෙක් ලෙස බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදි (27) අනාවරණ විය.

එම නිවස කුලියට ගෙන ඇත්තේ, කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් විසිනි.

ජනාධිපති කොමිසම ඊයේ සාක්ෂි විමසුවේ සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් ආරක්ෂක නිවසක් ලෙස භාවිතා කළ පානදුර සරික්කිමුල්ල, පරත්ත පාර ප්‍රදේශයේ නිවසේ හිමිකරුවන එස්.එම්. ඉල්හාම් මහතා ගෙනි.

ඔහු ප්‍රකාශ කළේ නිවස කුලීයට ගැනීමට ඉදිරිපත් වූ පුද්ගලයා තමන් පාවහන් වෙළෙඳාමේ නිරත වන බවත් තමන් සහ මිතුරෙකුද, දරුවන් තිදෙනෙකු සහ බිරින්දෑවරුන්ද මෙම නිවසේ පදිංචිවීමට බලාපොරොත්තු වන බවට සඳහන් කළ බවය.

ඒ අනුව 2019 පෙබරවාරි මස 13 වැනිදා මසකට රුපියල් 40,000 බැගින් මාස 12 ක් සඳහා රුපියල් 480,000 මුදලක් මුලික ගෙවීමක් ලෙස ලබාගනිමින් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට නිවසේ යතුර භාරදුන් බව නිවසේ හිමිකරු කියා සිටියේය.

නිවස කුලීයට දීමෙන් මසකට පසු අවස්ථා දෙකකදි තම නිවස නිරීක්ෂණය කිරීම සඳහා ගිය විට මොහොමඩ් මුබාරක් නිවසේ නොසිටි බවත් නිවස කුලීයට ගැනීමේ ගිවිසුමේ සාක්ෂිකරු ලෙස අත්සන් කළ රිස්කාන් පමණක් දෙවියන් යදිමින් සහ විවේකිව නිවසේ රැඳී සිටි බව සාක්ෂිකරු මෙහිදී කොමිසම හමුවේ පැවසීය.

නිවසේ හිමිකරු පැවසුවේ, පාස්කු ප්‍රහාරය එල්ල වූ දින පස්වරු හතරට පමණ ප්‍රදේශයේ වෙළෙදසැළක් අසල සිටි තමන් වෙත පැමිණි මුස්ලීම් තරුණයෙකු “ඉල්හාම් උඹේ ගේ හමුදාවෙන් වට කරලා. දුවපං දුවපං” යනුවෙන් ප්‍රකාශ කළ බවය.

කෙසේ වෙතත් එම අවස්ථාවේ තම නිවසට ගොස් එහි හිමිකරු තමන් බව පැවසූ බවත් පසුව සිය පෞද්ගලික නීතිඥවරයා හමුවී නිවස කුලීයට දීමට අදාළ නෛතික ලේඛන අදාළ නිලධාරින්ට ඉදිරිපත් කළ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

ඉන් අනතුරුව කොමිසම සාක්ෂි විමසනු ලැබුවේ, මෙම නිවස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන නාලනී දිසානායක නිලධාරිනියගෙනි.

එහිදි අදාළ නිලධාරිනිය ප්‍රකාශ කළේ, ප්‍රහාරයට පසුදින මෙම නිවසට ගිය තමන්ට බයිසිකල් බෝල ඇතුළත් පෙට්ටි කිහිපයක්, බැටරි සහ බැටරි පෙට්ටි කිහිපයක්, පරිපථ සටහන් කිහිපයක්, බ්ලීචින් පවුඩර් යැයි සඳහන් කළ විශාල බූලියක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් හමුවූ බවය.

එහිදී මොහොමඩ් මිල්හාන්ගේ නම සඳහන් වූ ටෙක් ශ්‍රී ලංකා ආයතනයේ සහතික පතක් ද එම නිලධාරිනිය විසින් සොයාගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිය පැවසුවේ, නිවසේ තිබූ බිල්පත් ඔස්සේ සිදුකළ විමර්ශනවලදී බෝම්බකරුවන් ආගිය ස්ථාන රැසක් අනාවරණය කර ගැනීමට හැකිවූ බවය.

ඒ අනුව 2019 අප්‍රේල් මස 10 වැනිදා ගොරකාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකිර්ණයෙන් භාණ්ඩ මිලදීගැනීම සඳහා ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඊට ඇතුළුවන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ බව කොමිසමේදී හෙළිවිය.

ප.ව 8.17 ට එම වෙළෙද සංකීර්ණයට ඇතුළුවන්නේ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ, අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් සහ කිංස්බරි හෝටලයට හෝටලයට ප්‍රහාරය එල්ල මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ය.

එමෙන්ම ඔවුන් දෙදෙනා අප්‍රේල් 11 වැනිදා බත්තරමුල්ල වෙළදසැළකට ගොස් භාණ්ඩ මිලදීගැනීමක් ද සිදුකර තිබෙනවා.

සාක්ෂි දුන් නිලධාරිනිය ප්‍රකාශ කළේ, එම ත්‍රස්තවාදීන් දෙදෙනා එදින ලීටර් 50 ප්‍රමාණයේ Backpack 10 ක් එහිදී මිලදී ගෙන ඇති බවය.

ඊට අමතරව බෝල, පාවහන්, අව්කණ්නාඩි, ටී – ෂර්ට් ඇතුළු රුපියල් 76,650 ක වටිනාකමකින් යුතු භාණ්ඩ අයිතම 36ක් ඔවුන් මෙහිදී ගෙන ඇති බව සඳහන් වේ.

සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළේ, කිංස්බරි හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් අදාළ භාණ්ඩ මිලදීගත් වෙළෙඳසැළේ Loyalty කාඩ් පත හිමි පාරිභෝගිකයෙක් බවය.

– adaderana tamil

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *