මහ මුහුදේ රඟ දැක්වූ නින්දිත මිනී මැරුමක හෙළිදරව්ව, ප්‍රමාද වූ නීතිය

මහ මුහුදේ රඟ දැක්වූ නින්දිත මිනී මැරුමක හෙළිදරව්ව, ප්‍රමාද වූ නීතිය

මහ මුහුදේ රඟ දැක්වූ නින්දිත මිනී මැරුමක හෙළිදරව්ව, ප්‍රමාද වූ නීතිය

යූ ටියුබ් වෙබ් අඩවියේ සංසරණය වෙමින් තිබූ අතිශය ම්ලේච්ඡ වීඩියෝවක් සහිත ප්‍රවෘත්තියක් පසුගිය දා කලම්බො ගැසට් වෙබ් අඩවිය පළ කළේය. සංක්ෂිප්ත සංස්කරණයකින් පසු මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පළ කර තිබූ එම වීඩියෝව විනාඩි 2කට ආසන්න කාලයක් විකාශය විය.

එහි පෙනෙමින් තිබුණේ පාවෙන පොල් ගෙඩිවලට වෙඩි තබන්නා සේ මහ සයුරේ කුඩා බෝට්ටුවක සුන් බුන් අතර පාවෙමින් සිටි මිනිසුන් පිරිසකගේ හිස් කුඩු වන අන්දමින් වෙඩි තබා ඝාතනය කරන නින්දිත මිනී මැරුමකි. වෙඩි තැබීම් වට 40කට අධිකය. මිනී මරුවෝ නොපෙනෙති. පෙනෙන්නේ සටනකට එළඹීමට තබා ජිවිතය බේරා ගැනීමටවත් නොහැකිව ගැඹුරු මුහුදේ පාවෙමින් සිටිනා මිනිසුන් පිරිසකට වෙඩි තබා ඝාතනය කරන අන්දමය. වෙඩි වැදීමෙන් නිසල වන සිරුරුවලින් විහිදෙන රුධිර ධාරාව හාත්පස දියඹ රත් පැහැ ගන්වනු පෙනෙමින් තිබිණි.

නම් ගම් නොදන්නා කවුදෝ මිනිසුන් පිරිසක් සලකුණකුදු නොතබා ඉන්දියන් සාගරයේ නොදන්නා තැනක අතුරුදන්වන ආකාරය දක්වමින් වීඩියෝ දර්ශන පෙළ අවසන් විය. ප්‍රහාරයට ලක්වන එක් කුඩා බෝට්ටුවක් පමණක් පැහැදිලිවම පෙනුණි. තායිවානයේ ධජය සහිත එහි චුන් අයි අංක 217 ලෙස සඳහන් විය.

මැන්ඩරින් භාෂාවෙන් කරන වෙඩි තැබීමේ අණදීම්, අනතුරුව නැගෙන වෙඩි හඬ, තමන් පස් දෙනෙක් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකුගේ පුරසාරම හඬ විට වික්‍රමයකින් පසු සෙල්ෆි ඡායාරූප ගන්නා පිරිසකගේ ප්‍රමෝදවත් හැසිරීම් ඒ දර්ශන අතර විය.

ඉන්දියන් සාගරය තුළ සිදුවන ම්ලේච්ඡ අමානුෂික හැසිරීම් සාක්ෂි සහිතව හෙළිදරව් වන්නේ මේ දර්ශන වීඩියෝගත කළ ජංගම දුරකථනයක් ෆිජී කුලී රථ රියදුරෙක සිය රථයේ පසුපස ආසනයේ තිබී වර්ෂ 2012 දී සොයා ගැනීමත් සමඟය. විනාඩි 10කට වැඩි කාලයක් දිවෙන ඒ කාලකණ්ණි දර්ශන පෙළ 2014 දී ෆිජි හි දී යූ ටියුබ් වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කර තිබිණි.

සැකකරුවන් සොයා යෑම

මෙම දර්ශන පෙළ ශිෂ්ට සම්පන්න ලෝකය සසල කළේය. මේ සාගර අපරාධකරුවන් කවුද යන්න ලෝකය විමසිලිමත් වන්නේ ඉන් අනතුරුවය. මේ අපරාධය සිදුකළ යාත්‍රාව සම්බන්ධව මුලින්ම තොරතුරු ලැබිණි. එය පිං ෂින් 101 නම් ධීවර නෞකාවකි. සිනාවෙමින් සෙල්ෆි ගනිමින් සිටියේ එම නෞකාවේ නාවිකයන් පිරිසකි.

එහෙත් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සරල කටයුත්තක් වුණේ නැත. මිනීමරුවන් වීඩියෝ දර්ශනවල දකින්නට නොවුණි. ඇසෙන්නනට තිබුණේ ඔවුන්ගේ හඬ පමණි. අනෙක් කාරණාව මේ මිනීමරුවන් සිටි බව කියන ධීවර නැව ඊට වසර දෙකකට පෙර ඉන්දියන් සාගරය තුළම ගිලී ගියේය. මේ සිද්ධියට අප මුල් වරට සම්බන්ධ වන්නේ එතැනදීය.

ලංකාවට නුදුරු ජාත්‍යන්තර දියඹේ ගිලෙමින් තිබූ මේ ධීවර නෞකාවේ කපිතාන්වරයා හා සේවක මණ්ඩලය 20 දෙනෙක් නාවික හමුදාව විසින් ගලවා ගත්තේය. නැව ගිලී ගියේය. පිං ෂින් ගිලී යෑම ඕස්ට්‍රේලියාවේ සමුද්‍රීය බලධාරීන් විසින් සනාථ කළේය. ඒ වනවිට මේ අපරාධය ලෝකය දැනගෙන සිටියේ නැත.

අපරාධය හෙළිදරව් වූ පසු තායිවානය ක්‍රියාත්මක විය. එහෙත් මහ සයුර මැද සිදුවන අපරාධ සම්බන්ධව ක්‍රියාත්මක වීමේ සංකීර්ණතාව නිසා පරීක්ෂණ පෙළ ගැසුණේ මන්දගාමීවය.

මේ අතර අපරාධය සියැසින් දුටු බවට කී සාක්ෂිකරුවෝ දෙදෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් පිළිපීන ජාතිකය නාවිකයන් දෙදෙනෙකි. එක් අයෙක් මැකිසිමෝ නැමැත්තෙකි. මැක්සිමෝ ප්‍රකාශ කර තිබුණේ මේ සිද්ධියෙන් පුද්ගලයින් 10ක් හෝ 15ක් ඝාතනය වූ බවය.

මහ මුහුදේ රඟ දැක්වූ නින්දිත මිනී මැරුමක හෙළිදරව්ව, ප්‍රමාද වූ නීතිය
මහ මුහුදේ රඟ දැක්වූ නින්දිත මිනී මැරුමක හෙළිදරව්ව, ප්‍රමාද වූ නීතිය

“ ඔවුන් මුහුදු කොල්ලකරුවන් ලෙස පෙනී සිටියෙ නෑ…“ මැක්සිමෝ කී ඇසුවන් කම්පා කරන කතාව එයය. එහෙත් මැක්සිමෝ සමඟ සාක්ෂියට ඉදිරිපත් වූ අනෙක් නාවිකයා වූ ඇල්ඩ්‍රින් නැමැත්තා පුද්ගලික විමර්ශකයකුට පවසා තිබුණේ නෞකාවට ගුවන් විදුලි සංඥා මගින් මුහුදු කොල්ලකරුවන් පිරිසක් සම්බන්ධව අනතුරු ඇඟවීමක් ලැබී තිබුණු බවය. එම අනතුරු හැඟවීමේ සිද්ධිය මැක්සිමෝත් පිළි ගත්තේය.

නැවේ සිටි තවත් නාවිකයෙක් කීවේ පිං ෂින් නෞකාවේ සන්නද්ධ ආරක්ෂකයන් තිදෙනෙක් සිටි බවය. මේ සිද්ධියට දෙවන වරට ලංකාව සම්බන්ධ වන්නේ මේ සන්නද්ධ සමුද්‍රාරක්ෂකයන් පිළිබඳ පිළිබඳ කතාවේදී ය. නෞකාවේ හිමිකාර සමාගම පසු කළෙක ජාත්‍යන්තර මාධ්‍යයට කීවේ මේ සමුද්‍රාරක්ෂකයන් ඔවුන් ලබා ගන්නේ ලංකාවෙන් බවය.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ
රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ

“ පණිවුඩය ලැබුණට පස්සෙ කපිතාන් ආරක්ෂකයන් සූදානම් කළා. මෙවැනි ගැටුම් මුහුදු කොල්ලකරුවන් සමග ඇති වෙනවා. මේ කොල්ලකරුවන් සෝමාලියානු මුහුදේ සහ ෂීෂෙල්ස් අතර සක්‍රීයයි…“

ඝාතනය මුහුදු කොල්ලකරුවන් හා නාවිකයන් අතර ගැටුමකට ලඝු කෙරෙමින් තිබිණි. මේ ඝාතනයට සම්බන්ධවන කපිතාන්වරයා චීන ජාතිකයෙක් වීමත් සමඟ විමර්ශන කටයුතුවලට චීනයත් මැදිහත් වෙමින් ඇත.

ඝාතන සිද්ධියේ දී වින්දිතයන් අතර හඳුනාගත් චුන් අයි 217 තායිවාන් බෝට්ටුවේ හි කපිතාන්වරයා චීන විමර්ශකයින් සමඟ කතා කර ඇති බවක් පෙනෙන්නට ඇති අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. නමුත් ඔහු හෙළි කළේ කුමක්දැයි කිසිවෙක් දන්නේ නැත.

නඩු පැවරීම

කෙසේ වෙතත් වර්ෂ 2018 දෙසැම්බරයේ දී මනුෂ්‍ය ඝාතකයෙක් යැයි සැක කළ පිං ෂින් ධීවර නෞකාවේ කපිතාන් වන චීන ජාතික වැන්ග්ට එරෙහිව තායිවානය සිය අධිකරණයට කරුණු වාර්තා කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගත්තේය. පසුගිය අගෝස්තුවේ ඔහු ධීවර නෞකාවකින් කාඕසියුං වරායට ඇතුළු වීමෙන් පසු මේ අත්අඩංගුවට ගැනිම සිදුකෙරිණි. සීෂෙල්ස් ධජය සහිත එම ධීවර නෞකාව ඉන්දියන් ස්ටාර් නම් විය.

පින් ෂිං නෞකාව ගිලි ගිය පසු ඔහු අවසන් වරට සේවය කරමින් සිටියේ ඉන්දියාවට අයත් ඉන්දියන් ස්ටාර් නැමැති නෞකාවකය. තායිවාන මාධ්‍ය වාර්තා කළ ආකාරයට එම නෞකාවත් සමුද්‍ර සදාචාරය විනාශ කළ එකකි. ඉන්දියන් ස්ටාර් යනු නීති විරෝධී මත්ස්‍ය ජාවාරම, ව්‍යාජ ලියකියවිලි භාවිතය, ඇතුළු නීති උල්ලංඝණය කිරීම් මාලාවක් සිදු කළ විකෘතියක් බව කියැවිනි.

දැන් සැකකාර අපරාධකරු වූ කපිතාන්වරයා අත්අඩංගුවේය. ඔහුට එරෙහිව නීති විරෝධී ගිනි අවි හැසිරවීම හා මිනී මැරීම චෝදනා යටතේ නඩුකටයුතු කරගෙන යෑමට නියමිතය. වරද කරු වුවහොත් මරණීය දණ්ඩනයත් හිමි විය හැකිය. එහෙත් මෙය මුහුදු කොල්ලකරුවන් හා ඇති වුණු ගැටුමක් සේ සලකා කටයුතු කිරීමේ එළඹුමක් ද පෙනෙන බව ජාත්‍යන්තර මාධ්‍ය කීවේය.

“මෙම සිදුවීම වන්නේ 2012 සැප්තැම්බර් මාසයේ සෝමාලියානු වෙරළට ඔබ්බෙන් වූ ඉන්දියානු සාගරයේ. මා පිං ෂින් අංක 101 කපිතාන් ලෙස කටයුතු කළා. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මට සහ තවත් ධීවර බෝට්ටු තුනකට වෙඩි තැබූවා. ඉස්සරවෙලා ඔවුන් වෙඩි තැබුවෙ… බෝට්ටුවක් පෙරළී මුහුදු කොල්ලකරුවන් මුහුදට ඇද වැටුණා. “ කපිතාන් වැන්ග් බී.බී.සී සේවයට පවසා තිබිණි.

සෙන්ග් චිං-යා යනු මේ අපරාධයේ පැමිණිලිකාර පාර්ශ්වයේ ප්‍රකාශකයෙකි. ඔහු පසුගිය අගෝස්තුවේ දී මේ අත්අඩංගුට ගැනිම ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළේය.

“ දැන් අත්අඩංගුවෙ ඉන්න වැන්ග් මේ නඩුවෙදි කුමණ ආකාරයකට හැසිරෙයි ද යන්න අපට කියන්න බැහැ. තමන් වෙඩි තිබ්බෙ තායිවාන් බෝට්ටුවකට නෙමෙයි කියලා කීමට ඔහුට ඇති හැකියාව අපට බැහැර කරන්න බෑ.. එහෙත් මේ වනවිට කපිතාන්වරයා ඉන්නෙ අපේ අත්අඩංගුවේ. දැන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා හොඳ අවකාශයක් විවර වෙලා තියනවා…“

ඔහු වැඩි දුරටත් කීවේය. එහෙත් මේ සිද්ධි පෙළ ගැස්ම දෙස බලා සිටි ලෝකය කීවේ මේ අහම්බෙන් එළිදරව් වුණේ අපට නොපෙනෙන අශිෂ්ට ලෝකයක නිරුවත බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *