මුස්ලිම් අන්තවාදීන් ගැන පරීක්ෂණ සියල්ල නවත්වන්නැයි මෛත්‍රී කිව්වා – පූජිත් ජයසුන්දර

පූජිත් ජයසුන්දර

පූජිත් ජයසුන්දර

මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන සියලු විවෘත පරීක්ෂණ නවත්වන ලෙසත් ඒ පිළිබඳ විමර්ශන එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරනු ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක කවුන්සිලයේ දී ප්‍රකාශ කළ බවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (23) ප්‍රකාශ කළේය. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන පොලිස් කොමිෂන් සභා බලාත්මක කර තිබුණ ද හිටපු ජනාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සඳහා සහ යම් යම් රාජකාරිමය කටයුතු සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනිකව මැදිහත් වූ බවද ඒ මහතා පැවසුවේ ය.

හිටපු ජනාධිපතිවරයා කළ නියෝගයට පිටින් යාමට තමා කටයුතු නොකළ බවත්, මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමේදී “මෙය ඉතා සංවේදී කාරණාවක් වන බැවින් ඉතා පරිස්සමින් කටයුතු කරන්න” යනුවෙන් එවක ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි දෙමින් කීවේ ය.

එවක ආණඩුවේ මුස්ලිම් මැති ඇමැතිවරුන් සිටින හෙයින් ඉන් ආණ්ඩුවට බලපෑම් එල්ල විය හැකි බවත් මෙරට සිදුවී ඇත්තේ අන්තවාදී දේශන පැවැත්වීම් වැනි කරුණු පමණක් බවත් පරිස්සමින් කටයුතු කරන ලෙසත් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදුන් බව හිටපු පොලිස්පතිවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසී ය.

එමෙන්ම 2017 වසරේ අග 2018 වසරේ මුල කාලයේදී තමා හා ජනාධිපතිවරයා අතර සමීප සබදතාවක් නොපැවැති බවත් ඔහු කී ය.

හිටපු පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති විරසකවීම් හේතුවෙන් ආරක්ෂක කටයුතු සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී තමා දැඩි අපහසුතාවකට පත් වූ බවත් පැවසුවේ ය.

එහිදී කොමිසම විමසුවේ ජනාධිපතිවරයා දුන් උපදෙස් බැහැර කර අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් පැතීමට තමා කටයුතු කළේද යන්න ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු ලෙස තමා එසේ නො කළ බවත් ජනාධිපති ලබාදෙන උපදෙස්වලට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කීවේය.

2018 ඔක්තෝබර් මස 23 වන දා පැවැති ආරක්ෂක කවුන්සිල රැස්වීමට තමා නොකැඳවීමට එවක ජනාධිපතිවරයා තීරණය කළ බවත් පාස්කු ප්‍රහාරය වන තෙක්ම තමා ආරක්ෂක කවුන්සිලයට නොකැඳ වූ බව ද ඔහු කී ය. ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට තමන්ට නොහැකි වූ බවත් ඉන් තමා දැඩි අපහසුතාවට පත්වූ බවත් පූජිත් ජයසුන්දර මහතා පැවැසී ය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි පොලිස් පරීක්ශක නිශාන්ත ද සිල්වා මහතාගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට බලපෑම් එල්ල කළ බව ඔහු අවධානය කළේ ය.

සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස මහතා , මහින්ද අමරවීර මහතා වැනි අය පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් එවක ජනාධිපතිවරයාට දැඩි බලපෑම් එල්ල කළ බැවින් එම ස්ථාන මාරුවීම වහාම අවලංගු කරන ලෙස තමාට හිටපු ජනාධිපතිවරයා දැන් වූ බව ය.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවී විජේගුණරත්න මහතා , හමුදා නිළධාරීන් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා පරීක්ෂණ සිදු කරන බැවින් සහ ඔහුට එරෙහිව චෝදනා එල්ල වී නොමැති බැවින් ද ඔහුගේ ස්ථාන මාරුවීම කළ නො හැකි බවට තමා හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසමට පැවසුවේ ය.
-DM-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *