(Video) රටටම තිබෙන ප්‍රශ්නය කවුරුත් වැඩ නොකිරීම – ජනපති

රටටම තිබෙන ප්‍රශ්නය කවුරුත් වැඩ නොකිරීම - ආකල්ප වෙනසකට සූදානම් වන්න - ජනපති

රටටම තිබෙන ප්‍රශ්නය කවුරුත් වැඩ නොකිරීම - ආකල්ප වෙනසකට සූදානම් වන්න - ජනපති

තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම දක්නා මන්දගාමී ක්‍රියාකාරිත්වය කණගාටුවට කරුණක් යයි එතුමා සඳහන් කරයි.

කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් හැම දවසකම එකම මට්ටමක තිබීම නිදසුනකැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළයුතු යයි සඳහන් කළ ජනාධිපතිතුමා ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සුදානම් වන මෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

“සෑම පවුලකටම සුව පහසු නිවසක්” හිමිකර දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපේක්ෂාවක්. නිවසක අවශ්‍යතාව තිබුණත් එය තනිව සපුරාගත නොහැකිවීම බහුතරයකට ඇති ගැටළුවක්. නාගරික, ග්‍රාමීය සහ වතු ජනතාවගේ නිවාස හිඟය විසඳිය යුත්තේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ යන අයුරින්., රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

සියලු ඉදිකිරීම්වලට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසේ. මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැළපෙන මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බව ජනාධිපතිතුමා කීය.

උතුරු පළාතේ සුබසාධන කඳවුරු 22ක වෙසෙන අවතැන් වූ පවුල් 409ක් නිවාස තනා නැවත කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි කියා සිටියේය.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යළි පණ ගැන්විය යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කීය.

ගොඩනැගිලි දෙපාර්තමේන්තුව, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය යන ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවා සංවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

ඉදිකිරීම්, කෘෂිකර්ම සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල පෙරළියක් ඉදිරි වසරේ සිට අපේක්ෂා කරන බැවින් මේ සියලු ආයතන දැඩි උද්යෝගයකින් සේවා සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *