ඇමරිකාවේ උපාධි ලැබ ලංකාවේ ලොරි බොඩි ගසන ඉෂාරා

ඇමරිකාවේ උපාධි ලැබ ලංකාවේ ලොරි බොඩි ගසන ඉෂාරා

ඇමරිකාවේ උපාධි ලැබ ලංකාවේ ලොරි බොඩි ගසන ඉෂාරා

සාම්ප‍්‍රදායික රාමු තුළ කොටු වී හෝ කොටු කරනු ලැබ සිටි කාන්තාවන් එම සීමා බන්ධන බිඳ දමමින් නව ඉසවු කරා ගමන් කරන අයුරු ගෙවුණු දශක කිහිපය තුළ දක්නට ලැබිණ. එම සාධනීය ප‍්‍රවේශය තුළින් ඇතැම් ධෛර්ය සම්පන්න කාන්තාවෝ සිය ජීවන තත්ත්වය ඉහළ දමා ගන්නා අතර ම රටේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියට ද සෘජු දායකත්වයක් දක්වති. කස්තුරි චෙල්ලරාජා විල්සන් එවන් කාන්තාවකි. ඇය ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට හේමාස් හෝල්ඞ්ංග්ස් පී.එල්.සී ව්‍යාපාර ජාලයේ නව ප‍්‍රධාන නිලධාරිනිය ලෙස නවමු ගමනක් ආරම්භ කරන්නේ ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ව්‍යාපාර සමූහයක ප‍්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්වන පළමු කාන්තාව ලෙසිනි. 2016 මැයි මස 21වැනි දින ශ‍්‍රී ලාංකිකයකු ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ උසම කඳු මුදුනට ළඟා විය. ඒ වාර්තාව තැබුවේ ජයන්ති කුරුඋතුම්පාල විසිනි. ඒ පිළිබඳව එදා ඇය ප‍්‍රකාශ කර සිටියේ ංංකාන්තාවක් වශයෙන් මම හුඟාක් ආඩම්බරයි, මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණ නිසා,” යනුවෙනි.

හර්ෂි ඉෂාරා මනමේන්ද්‍ර
හර්ෂි ඉෂාරා මනමේන්ද්‍ර

අප අද කතා කරන්න යන්නේද එක් ව්‍යාපාරික කතක් ගැනය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව ඇමරිකාවේ කැන්සාස් විශ්වවිද්‍යාලයෙන් යාන්ත‍්‍රික ඉංජිනේරු උපාධිය හදාරා ඇති ඇය වසර 40ක ඉතිහාසයක් ඇති ඉෂාරා ලොරි බොඩි පුද්ගලික සමාගමට නායකත්වය දෙයි. එතුමිය හර්ෂි ඉෂාරා මනමේන්ද්‍ර මෙනෙවියයි. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරා වර්තමානයේ ලොරි බොඩි කර්මාන්තය ඉහළම තලයකට ගෙනයෑමට කටයුතු කරන්නේ සෙසු කාන්තා ව්‍යවසායකයන්ට ද ආදර්ශයක් දෙමිනි. ඉෂාරා ලොරි බොඩි පුද්ගලික සමාගම වර්තමානයේ අලූත් හඳුන්වාදීම් රැුසක් සිදු කර ඇත. කොරෝනා ව්‍යාප්තියත් සමග රටේ ඇතිවූ ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ඔවුන් හඳුන්වාදුන් අලූත් නිර්මාණ වඩා වැදගත් බව සටහන් කළ යුතුය. මේ පිළිබඳව ඉෂාරා ලොරි බොඩි පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ යාන්ත‍්‍රික ඉංජිනේරු හර්ෂි ඉෂාරා මනමේන්ද්‍ර මෙනෙවිය අප සමග මෙසේ කරුණු විස්තර කළාය.

“ඇත්තට ම මෙම ආයතනයට වසර 40ක ඉතිහාසයක් තියෙන ආයතනයක්. මේක මගේ පියා වන පේ‍්‍රමදාස මනමේන්ද්‍ර මහතා විසින් ආරම්භ කළේ. අද මම මේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ලංකාවේ ලොරි බොඩි ගහන හොඳම ආයතනය ලෙස මේ ආයතනය විරුදාවලිය ලබා තියනවා. අපි ලොරි බොඩි, හාෆ් බොඩි, වෙහිකල් කැරියර්ස් මෙන්ම ෆ්ලැට් බෙඞ් නිෂ්පාදනය කරනවා. කොරෝනා ව්‍යාප්තියත් සමග රටේ ලොකු ආරථික අර්බුදයක් ඇති වුණා. මිනිස්සුන්ට රස්සා නැති වුණා. මේ නිසාම අපි ෆුඞ් ට‍්‍රක්ස් හඳුන්වාදුන්නා. විශේෂයෙන්ම ලංකාවේ ප‍්‍රමුඛතම ආයතන විසින් අපි නිෂ්පාදනය කරපු ෆුඞ් ට‍්‍රක්ස් මිලදී ගෙන තියනවා.”
ඇමරිකාවේ උපාධි ලැබ ලංකාවේ ලොරි බොඩි ගසන ඉෂාරා

“ෂැංග‍්‍රිලා හෝටලය පවා ෆුඞ් ට‍්‍රක්ස් මිලදී ගත්තේ අපෙන්. මේවයේ විශේෂත්වය තමයි එක ඇතුළේ කෝකියෝ දෙන්නකුට වැඩ කරන්න පුළුවන් කුස්සියක් නිර්මාණය කරලා තියනවා. කෑම ගන්න අයට කුස්සියේ කටයුතු කෙරෙන විදිහ බලන්න පුළුවන් වගේම එකේ ඉඳන් අහාර ගන්න පුළුවන් ආකාරයට සකස් කරලා තියනවා. මේවා අපි දැක්කේ පිටරට රූපවාහිනීවල විතරයි. දැන් ලංකාවේ ම මේවා නිෂ්පාදනය කරන්න හැකිවීම ආඩම්බරයක්. එතකොට මේවා ඕනෑම තැනකට ගෙනිහිල්ල සේවා සපයන්න පුළුවන්. ඒවගේම අපි ජංගම පීසා රථත් නිර්මාණය කරලා තියනවා. අපි නිර්මාණය කරන ෆුඞ් ට‍්‍රක්වල පරිමාව දෙගුණ තෙගුණ කරන්න පුළුවන් හයිඞ්රෝලික් තාක්ෂණය මගින්. ඒවාගේම ආහාර සැපයීමේ ක‍්‍රියාවලිය සඳහා උපයෝගී කරගන්න ත‍්‍රිරෝද රථත් අපි නිෂ්පාදනය කරනවා. අවම ලක්ෂ දෙකේ සිට ලක්ෂ 40 දක්වා අපිට ඕනෑම නිෂ්පාදනයක් ලබා දෙන්න පුළුවන්. රජයෙන් අපිට සහායක් වෙනවානම් ඉදිරියට තවත් නිර්මාණ එළිදක්වන්න පුළුවන්. මොකද මේවා නිසා අලූත් රැුකියා අවස්ථා ඇති වෙනවා. මේ ව්‍යාපාරය ඉහළට ඔසවන්න තමයි මගේ අභිප‍්‍රාය.

චතුර පමුණුව
දිවයින ඉරිදා සංග්රහය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *