කුරුණෑගල රාජ මණ්ඩපය නඩුවේ නගරාධිපතිගේ ගාස්තුව මහජන මුදලින් ගෙවීමට අනුමැතිය…

කුරුණෑගල රාජ මණ්ඩපය

කුරුණෑගල රාජ මණ්ඩපය

පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව පවතින නඩු සඳහා නගරාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥයින් සඳහා නඩු ගාස්තු මහජන මුදලින් ගෙවීමට ඊයේ (17) සභාවේ යෝජනා සම්මතකරගෙන අනුමැතිය ලබාගෙන ඇත.

කුරුණෑගල මහනගර සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව ඉදිරිපත් වූ යෝජනාව, මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ එකඟතාවයෙන් සම්මත වී ඇති අතර මන්ත්‍රීවරුන් තිදෙනෙකු පමණක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.

මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී රණුක සනංජය මහතා, එක්සත් ජාතික පක්ෂයේ සුමේධ අරුණශාන්ත මහතා සහ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා පමණි.

ඒ අනුව, කුරුණෑගල නගර සභාවේ මුදලින් නඩු කටයුතු සඳහා රුපියල් විස්එක් ලක්ෂ අසූදාහක (රු. 2,180,000) මුදලක් ගෙවීමට අදාළ යෝජනාවෙන් සම්මත කරගෙන තිබේ.

මේ අතර මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියේ මෙම නඩුවේ ගාස්තු ගෙවීමේ යෝජනාව සම්මත කරගතහොත් ඊට එරෙහිව නීතිය හමුවනට යන බව ය.
-LT-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *