අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක

සමාවෙයං මෙහම ආමන්ත්‍රණය කළාට. උඹලට ‘මන්ත්‍රීතුමා’, ‘මැතිතුමා’ වැනි වචන දාලා ආමන්ත්‍රණය කරන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් සමීප, සහෘද හැඟීමක් තමයි උඹලා සම්බන්ධ ව එන්නේ.

ඒකයි මම මචං කියලා ආමන්ත්‍රණය කළේ
ඉතිං උඹලාට හිතෙන්නේ නැද්ද ශ්‍රී ලාංකේය ජන මානසිකත්වයට මේ ක්‍රමය ගැළෙපෙන්නේ නැති බව. උඹලවත් ‘ගරු මන්ත්‍රීතුමා’ ‘මැතිතුමා’ වැනි වදන් යොදා ආමන්ත්‍රණය කළ හැකි පරිදි උඹලව වෙනස් කර ගන්න ඕන නේ ද?
උඹලා අවුරුදු ගණනාවක් තිස්සේ අපේ මේ පුංචි රට හදන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේද ඉදිරිපත් කළා.
රටේ සිදුවන දූෂණ, වංචා සාක්ෂි සාධක සහිත ව හෙළිදරව් කළා.
සමානාත්මතාවය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ කතා කළා.
උඹලා ගේ හැම වැඩසටහනක් ම විනය ගරුක ව, නීති ගරුක ව කළා. කෝ උඹලාට මිනිස්සු ඡන්දය දුන්න ද ?
මිනිස්සු උඹලා ගේ ඔය සිස්ටම් එකට කැමති නෑ බං. දැන්වත් ඕක තේරුම් ගනිල්ලා.

මහ බැංකුව සොරා කාලා, සුනාමි සල්ලි සොරා කාලා, රටේ සම්පත් විකුණං කාලා, කුඩු ගෙනල්ලා, එතනෝල් ගෙනල්ලා, බලය වෙනුවෙන් ජාතිවාදය අවුස්සලා එතෙක් සහෝදරයන් සේ ජීවත් වූ ජන කොටස් අතර වෛරය, ක්‍රෝධය, සැකය වපුරලා ප්‍රාඩෝවල ඇවිල්ලා දේශපාලනය කරන එවුන් ඔක්කොම මහ ඉහළින් දිනුම් නේ ද ? මිනිස්සු ඕවට කැමතියි මචං

අපේ ගමේ ඉන්න නලින් හේවගේට පළාත් සභා මන්ත්‍රී විදියට මොනවා හරි උත්සවයකට ආරාධනා කළා නම් ඌ එන්නේ උගේ හීරෝ හොණ්ඩා බයික් එකක. ඔහොම ආවහම මිනිස්සු ගණන් ගන්නව ද බං ?
කරුණාකරල යතාර්ථය තේරුම් ගනිල්ලා.

දිස්ත්‍රික්ක විසිපහටම නායකයෝ විසිපහක් පත් කරලා උන්ට ප්‍රාඩෝ එකක්වත් අරන් දීපං. සල්ලි හොයා ගන්න පුළුවන්. සුපිරි බිස්නස් කාරයෝ ටිකක් අල්ලගෙන ( නීති විරෝධී බිස්නස් වුණාට කමක් නැහැ ) මේ ගමන යන්න ඕන.

උන්ට කියපං අපි බලයට ආවහම ඔයාලා ගේ බිස්නස් එකට ෆුල් සපෝට් එක දෙනවා කියලා දිස්ත්‍රික් නායකයෝ ප්‍රාඩෝවල ගමට ගිහිල්ලා පොත් ටිකක්, සපත්තු කූට්ටම් ටිකක්, ටකරං ටිකක්, ලැට් පෝච්චි ටිකක් බෙදන්න කියපං නැත්නම් කවදාවත් උඹලාට දිනන්න හම්බ වෙන්නෙ නැහැ,

මම මේ කියන සිස්ටම් එක කොච්චර සාර්ථක වෙයි ද කියලා බලාගන්න පුළුවන් ජීවමාන උදාහරණයක් තමයි
උඹලත් එක්කම හැදී වැඩුණු විමල් වීරවංශ
දැන්වත් හැදියල්ලා.

නැත්නම් උඹලා ගේ ඔය උපාධියෙන් මොනවා හරි රස්සාවක් කරලා දරු පවුලවත් හොඳින් බලා ගනිල්ලා. අඩු ම තරමින් උන් ටික වත් සතුටින් ඉඳීවි.

ස්තුතියි
මෙයට
ශ්‍රී ලාංකේය පුරවැසියෙක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *