“අප්‍රේල් 21 ප්‍රහාරය ගැන මම හිටපු ජනාධිපති මෛත්‍රීට මුලින්ම කීවෙමි” රොහාන් සිල්වා පවසයි…

2019 අප්‍රේල් 21 වන ඉරිදා දිවයිනේ ස්ථාන අටක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව, එවකට සිංගප්පූරුවෙහි පෞද්ගලික සංචාරයක යෙදී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට මුලින්ම තමා දැනුම් දුන් බව එවකට ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානී සහ දකුණු පළාතේ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා පැවසීය.

අප්‍රේල් 21 වන ඉරිදා දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඉලක්ක කරගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා පනතේ 2 වන පරිච්ඡේදය යටතේ (393 වන පරිච්ඡේදය) පසුගිය 2019 සැප්තැම්බර් 21 වන දින පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට සාක්ෂි දීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති කොමිෂන් සභාවේ දී පැවතුණි.

කොමිෂන් සභාවේ සභාපති, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලබන, අභියාචනාධිකරණ විනිසුරු නිසංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික විනිසුරුවන් වන නිහාල් සුනිල් රාජපක්ෂ, අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු, අමාත්‍යාංශයේ විශ්‍රාම ලත් ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන අය ඉදිරියේ සාක්ෂිකරුවන් සාක්ෂි ඉදිරිපත් කරන ලදී.

රජයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක සංජීව දිසානායක මහතාගේ නියෝගය අනුව සාක්ෂි දෙමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානී රොහාන් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව ඔහු සෑම මසකදීම බුද්ධි විශ්ලේෂණ රැස්වීමක් පවත්වන ලෙස ද, එහි 2019 පෙබරවාරි මාසයේ පැවැත් වූ මාසික රැස්වීමේදී, රාජ්‍ය බුද්ධි සේවයේ ජනක සෙනවිරත්න මහතා සහභාගී වී, ශ්‍රී ලංකාවේ සිට 28 දෙනෙකු සිරියාවට ගොස් ඇති බවත්, එයින් තිදෙනෙකු ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවත් දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා සාක්ෂි දෙමින් පැවසුවේ ය.

රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් නානායක්කාර මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය. ඉරානය, ඉරාකයේ අයි.එස්.අයි.එස්. පසුබැසීමත්‍ සමඟ ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ සාමාජිකයන් නැවත සිය මව් රටට යන ලෙසත්, එලෙස යන අය ඒ ඒ රටවල මුස්ලිම් නොවන අයව ඝාතනය කරන ලෙසත් ය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින් 125 දෙනෙකු පමණ අයි.එස්.අයි.එස්. ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, එලෙස නැවත පිට රට සිට පැමිණි දෙදෙනා වැල්ලම්පිටියේ සහ දෙහිවල සිටින බව හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේ ය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව ඔහු ප්‍රකාශ කළේ නැත.

මීට අමතරව සඳහන් කළ රාජ්‍ය බුද්ධි සේවා වාර්තාවට අනුව, එලෙස රට තුළට පැමිණෙන අය ඩ්‍රෝනා ප්‍රහාර සහ රසායනික බෝම්බ ප්‍රහාර වුවත් සිදු කළ හැකි බව ප්‍රකාශ කර ඇත.

එබැවින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ලොව පුරා වෙනත් රටවල සිදුවීම් ඇතුළු සියල්ල විශ්ලේෂණය කළෙමු.

ඒ සමඟම තවත් 100 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, විශේෂයෙන්ම ඔවුන් කොළඹ, මහනුවර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල වාසය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මහනුවර – මාවනැල්ල බුද්ධ ප්‍රතිමාව කැඩීමේ සිද්ධිය ද අයි.එස්.අයි.එස්. කණ්ඩායම විසින් පොළඹවා ගන්නා ලද තරුණ පිරිසකගේ කාර්යයක් බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

මෙවැනි පසුබිමක් තුළ පසුගිය 2019 අප්‍රේල් 12 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපුවට ගියේ ය. එහිදී බුද්ධි අංශයට සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ගේ තොරතුරු සහ ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබුණ ද ඔවුන් එය මට ලබා දුන්නේ නැත.

ඇත්ත වශයෙන්ම මේ තරම් බරපතල සිද්ධියක් සම්බන්ධව තොරතුරු ඔවුන් අනිවාර්යයෙන් ම, ජනාධිපති ආරක්ෂක ප්‍රධානී යන රීතියෙන් මට ලබා දිය යුතුයි. එහි ඇති තොරතුරු මම එවෙලේම දැක තිබුණහොත් නියත වශයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඩකලපු සංචාරය වළක්වා ඇත්තෙමි.

ඇත්ත වශයෙන්ම මෙම ප්‍රහාරය සිදු වන තුරු, ප්‍රහාරයක් සිදු වනු ඇතැයි අප දැන සිටියේ නැත. ප්‍රහාරය සිදු වන විට ජනාධිපති පෞද්ගලික සංචාරයක යෙදී සිංගප්පූරුවෙහි සිටියේ ය. මම මුලින්ම ජනාධිපතිතුමා හට සිදු වූ සිද්ධිය පිළිබඳව පවසා, පසුව මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සොයා දන්වන බව පැවසුවෙමි.

මම ඒ බව පැවසූ පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මද වේලාවක් නිහඬව සිටියේ ය. පසුව මට ආරක්ෂක ලේකම්ව සම්බන්ධ කර ගන්නා ලෙස පැවසුවේ ය.

හිටපු ජනපති සිංගප්පූරුවෙ හි සිටින විට එනම් 2019 අප්‍රේල් 19 හෝ 20 වන දින රාත්‍රියේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මට ඇමතුමක් ලබා දුන්නේ ය.

ජනාධිපති විදෙස්ගතව සිටිනවාද? යනුවෙනුත්, ඔහු නැවත පැමිණෙන්නේ කවදාද? යනුවෙනුත් මගෙන් ඔහු ප්‍රශ්න කළේය. ජනාධිපති විදේශගත වී සිටින බව ඔහු නොදැනුවත්ව සිටීමට අවස්ථාවක් නැත. ඔහු සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් සන්නිවේදන ව්‍යුහයක් තිබිණි. ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දුරකථනයෙන් පවා කතා කරනු ඇත.

විදෙස්ගතව සිටින ජනාධිපතිවරයාව සම්බන්ධ කර ගන්නා ආකාරය පිළිබඳව නිලන්ත මහතා දැන සිටියේ ය, යනුවෙන් ද ඔහු සාක්ෂි දුන්නේ ය.
-jvpnews-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *