එක්සත් අරාබි එමීරයේ මාරක රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමාහි මගී බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අල් වටන් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත්තේ.

අනතුර පිළිබඳ තොරතුරු ලැබීමත් සමග හදිසි ප්‍රතිචාර කණ්ඩායම් එම ස්ථානයට යොමු කර ඇති අතර, ගිලන් රථ සේවා, සිවිල් ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ බලධාරීන් එක්ව මුදාගැනීමේ මෙහෙයුම් සිදුකර තිබෙනවා.

අනතුර සිදුවූ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ රථවාහන ගමනාගමනය පාලනය කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ ජාතිකත්වයන් හෝ අනතුරෙන් තවත් මගීන් තුවාල ලබා තිබේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ කර නොමැත.

අනතුරට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර, එම විමර්ශන අවසන් වූ පසු ඒ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, අනතුර සම්බන්ධයෙන් තහවුරු නොකළ තොරතුරු සහ කටකතා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද එරට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහිදී ට්‍රක් රථයක් පෙරළී ගිනි ගැනීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලබා සති දෙකක් ගතවීමටත් පෙර වීම විශේෂත්වයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed