උසස් පෙළ සිසුවියකට ‘ලිංගික අපරාධයක් කළ’ හින්දු පූජකවරයෙකුට අධිකරණය දුන් තීන්දුව
2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි පාසල් ශිෂ්‍යාවකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු හින්දු පූජකවරයෙකු වන නිත්‍යනන්දන් මෝහන්රාජ් නමැත්තාට වවුනියාව මහාධිකරණය නියම කර තිබූ සිර දඬුවම් හා දඩ මුදල් අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබ තිබේ.
මෙම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පූජකවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඉවත දමමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ය.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි.
2011 දී සිදුකළ ලිංගික අපරාධය
2011 වසරේ අතවරයට පත් මෙම සිසුවිය වවුනියාව ප්‍රදේශයේ පිහිටි මැණික් ෆාම් නමැති සරණාගත කඳවුරේ රැඳී සිට ඇති අතර, ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් පසුවූ 17 හැවිරිදි තැනැත්තියක බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
ඇය විත්තිකාර පූජකවරයාගේ මුලතීව්, උදයාර් කට්ටු ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එහි රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිට ඇති අතර විත්තිකාර පූජකවරයා ඇයගේ ඥාතියෙකු බව ද නඩු විභාගයේදී හෙළි විය.
2011 වසරේ නොවැම්බර් මස 11 වන දා හෝ ඊට ආසන්න දිනයකදී එම දැරිය සිය නිවස තුළදී විත්තිකරු විසින් බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බවත්, ඉන්පසුව එම දැරිය අදාළ නිවසින් පලාගොස් ඇය රැඳී සිටි සරණාගත කඳවුරට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබිණි.
මාස කීපයක් ගත වූ විට ඇය ගැබිනියක් බව අනාවරණය වූ අතර, ඒ පිළිබඳව සිදුකළ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය කියා සිටියේ විත්තිකරු තමන්ව ලිංගික අපරාධයක් කළ බව ය.
එහෙත්, පොලිස් විමර්ශනවලදී ප්‍රකාශ ලබා දුන් විත්තිකරු මෙම ක්‍රියාව අදාළ දැරියගේ කැමැත්ත මත සිදුවූ බව ප්‍රකාශ කර තිබිණි.
