රාවණා රජු වීරයෙකු ලෙස හුවා දැක්වූ බවට චෝදනා කරමින් රාමායණ චිත්‍රපටය තහනම් කරන්නැයි ඉල්ලීමක්
ඉන්දීය සිනමා නළු රන්බීර් කපූර් සහ යෂ් රංගනයෙන් දායක වන ‘Ramayana: Part 1’ චිත්‍රපටය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරිෂද් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, රාමායණ වීර කාව්‍යයේ සිදුවීම් විකෘති කරමින් රාවණා චරිතය උත්කර්ෂයට නංවා ඇති බවට චෝදනා කරමින්.
අදාළ චිත්‍රපටයේ වාරණ මණ්ඩල සහතිකය අවලංගු කර එය සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම නතර කළ යුතු බවයි එම සංවිධානය පවසන්නේ.
විශ්ව හින්දු පරිෂද් සංවිධානයේ ජාත්‍යන්තර සභාපති ආලෝක් කුමාර් සඳහන් කර ඇත්තේ, රාමායණයේ මුල් කතාවට අදාළ නොවන සිදුවීම් චිත්‍රපටයට ඇතුළත් කර ඇති අතර වැදගත් චරිත කිහිපයක් ද ඉවත් කර ඇති බවයි.
එමෙන්ම, චිත්‍රපටය හරහා දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කර ඇති බවටත්, රාම දෙවියන්ගේ බැතිමතුන්ගේ ආගමික හැඟීම්වලට හානි සිදුකර ඇති බවටත් එම සංවිධානය චෝදනා කරනවා.
රාම දෙවියන්ගේ ජීවිතය තුළින් නිරූපණය වන සමාජ සමානාත්මතාව සහ සහජීවනය වැනි මූලික වටිනාකම් චිත්‍රපටයෙන් නිරූපණය කර නොමැති බව ද ආලෝක් කුමාර් පෙන්වා දෙනවා.
එමෙන්ම, චිත්‍රපටයේ ආරම්භයේ සිටම රාවණා පීඩිත ජනතාවගේ විමුක්තිදායකයෙකු ලෙස නිරූපණය කරමින් එම චරිතය උසස් කර දැක්වීමට උත්සාහ කර ඇති බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.
නිතිෂ් තිවාරි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ රාවණාගේ චරිතයට පණ පොවන යෂ්ගේ රංගනයට ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිව ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, රාවණා චරිතය කෙරෙහි ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුවීම ද විශ්ව හින්දු පරිෂද් සංවිධානයේ විරෝධයට හේතු වී තිබෙනවා.
මූලාශ්‍රය – The Times of India
