දිට්වා සුළි කුණාටුවේදී බස් රථයක සිරවූ 69ක් බේරාගත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ජීවිතාරක්ෂක පදක්කම්
2025 වසරේදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හමුවේ කලා ඔය ප්‍රදේශයේදී ආපදාවට පත් මගී බස් රථයක සිරවී සිටි පුද්ගලයින් 69 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට දායක වූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ජාත්‍යන්තර හා ජාතික ජීවිතාරක්ෂක පදක්කම් පිරිනමා තිබෙනවා.
ඒ අනුව, ඔවුන් වෙත පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක වීර පදක්කම මෙන්ම ඊට අදාළ සහතිකපත් ද පිරිනමා තිබෙනවා.
මෙම පදක්කම් ප්රදානෝත්සවය 2026 නොවැම්බර් 19 වැනිදා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය පොදුරාජ්‍ය මණ්ඩලීය රාජකීය ජීවිතාරක්ෂක සංගමය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය එක්ව සංවිධානය කර තිබුණා.
එහිදී නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත සමූහ ප්‍රධාන සුළු නිලධාරී එස්.ඒ.ඊ.එල්. සේනවිරත්න, නායක නැවි බී.කේ.ඒ. ප්‍රසාද් සහ බල නැවි එස්.ටී.ඩී. අබේරත්න යන නිලධාරීන් වෙත මෙම පදක්කම් සහ සහතිකපත් පිරිනැමුණා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රුවන් රූපසේන, නාවික හමුදා මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සභාපති අතුල සේනාරත්න සහ එහි ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
