ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් ගැන අවධානය: අධ්යක්ෂ මණ්ඩලය අද රැස්වී තීරණයක් ගනී!
පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ගෑස් සැපයුමක් ලබා දිය යුතු බවත්, එසේ නොමැති නම් හිස් ගෑස් සිලින්ඩරය සඳහා පාරිභෝගිකයාට මුදල් ගෙවන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගම වෙත දැනුම් දී තිබෙනවා.
මෑතකදී ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සහ වෙළඳපොළ තුළ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ (16) එම සමාගමේ නියෝජිතයින් පාරිභෝගික අධිකාරිය වෙත කැඳවා තිබුණා.
එහිදීයි මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ.
වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින පසුබිමක ගෑස් සිලින්ඩරයක මිල පසුගිය 10 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කිනුත් කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කිනුත් ඉහළ දමා තිබුණා.
ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණි අවස්ථාවේ කහ පැහැති එම ගෑස් සමාගමේ සිලින්ඩරයක් රැගෙන සිවිල් සංවිධාන නියෝජිතයින් අදාළ ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.
කෙසේවෙතත් මෙම රැස්වීමේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ මිල සංශෝධනයක් සඳහා සලකා බලන ලෙසයි.
ඒ අනුව අද එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
