ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය 18 දක්වා පහතට!

0

දරු ප්‍රසූතියේදී මවකගේ ජීවිතය අහිමිවීම කියන්නේ ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට බරපතළ අභියෝගයක්.

නමුත් ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව මාතෘ මරණ අවම කරගැනීම අතින් ශ්‍රී ලංකාව ඉතා ඉදිරියෙන් සිටින බව නවතම ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන එක්ව නිකුත් කළ 2023 වසරට අදාළ නවතම ජාත්‍යන්තර ඇස්තමේන්තුවලට අනුව ලෝකයේ සජීවී උපත් ලක්ෂයකට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව 197ක්.

නමුත් ශ්‍රී ලංකාවේ එම අගය 18ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව ලෝකයේ සාමාන්‍ය අගයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය දස ගුණයකටත් වඩා අඩු මට්ටමක පවතිනවා.

දකුණු ආසියානු කලාපයේ රටවල් සමඟ සැසඳීමේදීත් ශ්‍රී ලංකාව වාර්තා කරන්නේ ඉතා හොඳ තත්ත්වයක්.

ඉන්දියාවේ එම අනුපාතය 80ක් වන අතර බංග්ලාදේශයේ 115ක්. නේපාලයේ 142ක් සහ පකිස්ථානයේ 155ක් ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වාර්තාවලට අනුව 2021 වසරේදී සජීවී උපත් ලක්ෂයකට මාතෘ මරණ 47ක් වාර්තා වී තිබුණා.

2022 වසරේදී එය 33ක් දක්වා අඩු වූ අතර 2023 වසරේදී 25ක් දක්වා තවදුරටත් පහත වැටී තිබෙනවා.

2023 වසරේදී මෙරට මාතෘ මරණ 62ක් වාර්තා වී තිබීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව, ගර්භණී මව්වරුන්ගේ පූර්ව සෞඛ්‍ය පරීක්ෂණ, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ දායකත්වය සහ රෝහල්වල ප්‍රසව හා නාරිවේද සේවා මේ සඳහා වැදගත් දායකත්වයක් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියත්, මව්වරුන්ගේ ජීවිත අහිමිවීම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම තවදුරටත් අභියෝගයක්.

මව්වරුන්ගේ ජීවිත රැකගැනීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති මෙම ප්‍රගතිය මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ වැදගත්කම පෙන්වා දෙන තවත් එක් සාධකයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *