​අපරාධ පනතට සංශෝධන ගෙන ඒමට රජයෙන් පියවර!

0

​ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට (Prevention of Organised Crimes Bill) සංශෝධන එකතු කිරීමට රජය අදහස් කරන බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
​යෝජිත සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී (Committee Stage) ඉදිරිපත් කරන බව පැවසූ නීතිපතිවරයා, අධිකරණයේ සලකා බැලීම සඳහා අදාළ සංශෝධන ඇතුළත් ලේඛනයක් ද ඉදිරිපත් කළේය.
​රජයේ යෝජිත පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද නැවත කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කරන ලදී.
​අග්‍ර විනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනේ.
​ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් 26 ගොනු කර ඇත්තේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
​ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් සිය කංස්සාව පළ කර ඇත.
​නොවැම්බර් 04 වැනිදා පැවැති පූර්ව නඩු විභාගයේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිය කරුණු දැක්වීම් ඉදිරිපත් කළ අතර, එම කටයුතු එදින රාත්‍රී වන තෙක් පැවැත්විණි.
​පනත් කෙටුම්පතේ සහ යෝජිත සංශෝධනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ලිඛිත දේශන නොවැම්බර් 05 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුව පෙත්සම්කරුවන්ට නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *