සංවිධානාත්මක අපරාධ පනතින් මූලික අයිතිවාසිකම්වලට තර්ජන: එජා සංවිධානය

0

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

එමගින් පොලිස් බලතල පුළුල් වීමටත් මූලික අයිතිවාසිකම් සහ නිදහසට තර්ජනයක් එල්ල වීමටත් ඉඩ ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

වසරක කාලයක රඳවා තබා ගැනීම්, අධිකරණ නියෝගයකින් තොරව දුරකථන වාර්තා ලබා ගැනීම සහ අධිකරණ වාර්තාකරණය සීමා කිරීම ඇතුළුව, මෙම නිවේදනය මගින් ප්‍රධාන කනස්සල්ලට කරුණු 6 ක් ඔවුන් පෙන්වා දෙනවා.

එම කරුණු 06 පහතින්.

01 අධිකරණ නියෝගයකින් තොරව පොලිසියට ඔබගේ දුරකථන වාර්තා ලබා ගැනීමට හැකියාව ලැබේ
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (DIG) අධිකරණ අනුමැතියකින් තොරව සේවා සම්පාදකයින්ගෙන් ග්‍රාහකයින්ගේ තොරතුරු, ඇමතුම් වාර්තා සහ උපාංග පිහිටීම් පිළිබඳ තොරතුරු (Device Location) ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

02 අවසරයකින් තොරව අධිකරණ කටයුතු වාර්තා කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට බන්ධනාගාරගත වීමට සිදුවිය හැකිය
පූර්ව අවසරයකින් තොරව අධිකරණ කටයුතු වාර්තා කිරීම මෙම පනත් කෙටුම්පත මගින් අපරාධයක් බවට පත් කළ හැකි අතර, ඊට බන්ධනාගාරගත කිරීම් ඇතුළු දඬුවම් හිමිවිය හැකිය.

03 ඇසුර, පෙනුම හෝ භාවිතා කරන භාෂාව මත පදනම්ව පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් ලෙස නම් කිරීමට ඉඩ ඇත
යම් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස වර්ගීකරණය කිරීම සඳහා ආශ්‍රය කරන පුද්ගලයින්, ඇඳුම් පැළඳුම්, පච්ච (Tattoos), අත් සංඥා හෝ භාවිතා කරන භාෂාව වැනි සාධක යොදා ගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සලසයි.

04 සෙවුම් වරෙන්තුවක් නොමැතිව නිවෙස් පරීක්ෂා කිරීමට පොලිසියට හැකියාව ලැබේ
පූර්ව අධිකරණ අනුමැතියකින් තොරව, සාධාරණ සැකය මත පදනම්ව පරිශ්‍ර පරීක්ෂා කිරීමට සහ දේපළ රාජසන්තක කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් පුළුල් බලතල ලබා දෙයි

05 ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කරනු ලබන ප්‍රකාශ සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ ඇත
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබා දෙන ඇතැම් ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සලසන අතර, එම ප්‍රකාශ බලපෑම් හෝ තර්ජන (Coercion) මත ලබා දුන් ඒවා නොවන බවට ඔප්පු කිරීමේ වගකීම චෝදනා ලාභියා වෙත පවරයි.

06 සැකකරුවන්ට පොලිස් ස්ථානගත රඳවා තබා ගැනීම් යටතේ වසරක් දක්වා කාලයක් මුහුණ දීමට සිදුවිය හැකිය
චෝදනා ගොනු කිරීමට පෙර සැකකරුවන් මාස 12 ක් දක්වා කාලයක් පොලිස් ස්ථානයක රඳවා තබා ගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් බලධාරීන්ට ඉඩ සලසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *