අනෝජන්ගේ දඬුවම ලිහිල් කරන්නැයි පක්ෂ-විපක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරුන් සෞදි කිරුළහිමි කුමරුගෙන් ඉල්ලයි

0

​මුස්ලිම්වරුන් අතිශය ගෞරවයෙන් සලකනු ලබන නබිනායකතුමා උපන් භූමියේ සිටම උන්වහන්සේට අපහාස කළ බවට චෝදනා ලබා සවුදි අරාබි රජය මගින් අත්අඩංගුවට ගෙන දඬුවම් නියම කර ඇති සිවරාසා අනෝජන් කෙරෙහි කරුණාව දක්වන ලෙස ශ්‍රී ලංකාවේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සවුදි අරාබියේ කිරුළහිමි රජුගෙන් ඉල්ලීමක් කර ඇත.

​ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබන ලද මෙම පෙත්සම සවුදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් (Salman bin Abdulaziz Al Saud) කිරුළහිමි රජු වෙත යොමු කර ඇත. 2026 සැප්තැම්බර් 21 දිනැති මෙම අභියාචනා ලිපියට, පක්ෂ භේදයකින් තොරව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුලෆර්, අර්කම් ඉල්යාස්, සහ පක්ෂ නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අත්සන් තබා ඇත.

​සවුදි අරාබියේ ස්වෛරීභාවයට, අධිකරණ පද්ධතියට සහ නීතිරීතිවලට තමන් පූර්ණ ලෙස ගරු කරන බව සඳහන් කර ඇති මන්ත්‍රීවරුන්, මානුෂීය පදනම මත අනෝජන්ට නියම කර ඇති දඬුවම ලිහිල් කරන ලෙස හෝ ඔහුට පනවා ඇති දඩ මුදලෙන් නිදහස් කරන ලෙසත් කිරුළහිමි රජුගෙන් ඉල්ලා සිටිති.
​සිවරාසා අනෝජන් අඩු ආදායම්ලාභී කම්කරුවෙකු බවත්, ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ පවුලේ අයගේ දෛනික ජීවනෝපාය සඳහා ඔහුගේ ආදායම මත බෙහෙවින් යැපෙන බවත් එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

​අදාළ සිදුවීමෙන් පසුව, තමන් අතින් සිදු වූ වරද පිළිබඳව අනෝජන් දැඩි ලෙස කණගාටුව පළ කරමින් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බවත්, මුහම්මද් නබිනායකතුමා කෙරෙහි සහ ඉස්ලාමීය ආගමික හැඟීම් කෙරෙහි තමන් තුළ ඇති ගෞරවය ප්‍රකාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිදුරටත් මතක් කර දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *