“එතෙර දිරිය” විදේශ රැකියා නියුක්තිකයන්ගේ නිවාස ණය යෝජනා ක්රමය ක්රියාත්මකයි
විදේශගත ශ්රමිකයන්ට රුපියල් මිලියන 10 දක්වා නිවාස ණය
ණය පොලියෙන්
කොටසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE)
ශ්රී ලාංකික විදේශ රැකියා නියුක්තිකයන්ගේ නිවාස අවශ්යතා වෙනුවෙන් හඳුන්වා දුන් “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්රමය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් රාජ්ය සහ පෞද්ගලික බැංකු සමග අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීමත් සමග නිල වශයෙන් ආරම්භ විය.
මෙම ගිවිසුම් අත්සන් කිරීමත් සමග සුදුසුකම් ලබන විදේශගත ශ්රමිකයන්ට “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්රමය ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
විදේශගත ශ්රමිකයන්ට පහසු මූල්ය සහනයක් ලබාදීමේ අරමුණින් ක්රියාත්මක වන මෙම යෝජනා ක්රමය යටතේ, සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට වසර 10ක උපරිම ආපසු ගෙවීමේ කාලසීමාවකට යටත්ව, රුපියල් 500,000 සිට රුපියල් මිලියන 10 දක්වා වූ නිවාස ණය ලබාගත හැකිය.
අනුමත ක්රමවේදයට යටත්ව ණය සඳහා ගෙවිය යුතු පොලියෙන් කොටසක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ගෙවනු ලැබීම (ප්රතිපූර්ණය කිරීම) මෙහි විශේෂත්වයකි. මේ සඳහා 2027 වසර වෙනුවෙන් රුපියල් මිලියන 126ක මුදලක් වෙන්කර ඇත.
මෙම යෝජනා ක්රමය යටතේ සලකා බලනු ලබන උපරිම වාර්ෂික පොලී අනුපාතිකය සියයට 15කි. යම් හෙයකින් සහභාගී වන බැංකුවක් වසරකට සියයට 15කට වඩා වැඩි පොලී අනුපාතිකයක් අය කරන්නේ නම්, එම සීමාව ඉක්මවන අතිරේක පොලී මුදල ණයග්රාහකයා විසින් දරාගත යුතුය.
ණය සඳහා වන අයදුම්පත් අදාළ සහභාගී වන බැංකුව හරහා යොමු කළ යුතු අතර, අයදුම්කරුගේ සුදුසුකම්, ආපසු ගෙවීමේ හැකියාව, ණයගැතිභාවය සහ ඇපකර අවශ්යතා බැංකුව විසින් ඇගයීමට ලක්කෙරේ. ණය අයදුම්පතක් අනුමත කිරීම හෝ ප්රතික්ෂේප කිරීම පිළිබඳ අවසන් තීරණය අදාළ බැංකුව විසින් ස්වාධීනව ගනු ලබයි.
බැංකුවෙන් මූලික අනුමැතිය ලබන අයදුම්පත් පසුව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කෙරේ. අයදුම්කරුගේ කාර්යාංශ ලියාපදිංචිය, විදේශ රැකියා තත්ත්වය, විදේශ ප්රේරිත මුදල් සහ අනෙකුත් සුදුසුකම් කාර්යාංශය විසින් තහවුරු කරනු ඇත.
ණය අනුමත කිරීම, මුදල් නිදහස් කිරීම සහ ණය මුදල් ආපසු අයකර ගැනීම අදාළ බැංකුවේ වගකීම වන අතර, කාර්යාංශය විසින් සිදුකරනු ලබන්නේ යෝජනා ක්රමයේ කොන්දේසිවලට යටත්ව අදාළ පොලී ප්රතිපූර්ණය ලබාදීම පමණි. සහභාගී වන බැංකු විසින් මාස හයකට වරක් ණය ආපසු ගෙවීම් තහවුරු කිරීම් සහ පොලී ගණනය කිරීම් කාර්යාංශය වෙත ඉදිරිපත් කළ යුතු අතර, එම තහවුරු කිරීමෙන් පසුව අදාළ ප්රතිපූර්ණ මුදල් ණය ගිණුම් වෙත බැර කෙරේ.
ශ්රී ලාංකික විදේශගත ශ්රමිකයන්ගේ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට උපකාර කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම වැඩසටහන මගින්, විදේශ රැකියා ආදායම සාර්ථකව යොදවා ගනිමින් නිවාස අවශ්යතා ඉටුකර ගැනීමට විදේශගත ශ්රමිකයන්ට හැකියාව ලැබේ.
