ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ තවත් පලස්තීනුවන් 9 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා තීරය: පසුගිය දෙදින තුළ ඉශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් නවදෙනෙකු (9) ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
උතුරු ගාසා හි ගාසා නගරයේ අල්-කතීබ් (Al-Khatib) දිස්ත්‍රික්කයට ඊයේ උදෑසන එල්ල වූ ඉශ්‍රායල ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළුව අවම වශයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්-ෂිෆා (Al-Shifa) රෝහල උපුටා දක්වමින් අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වාර්තා කර ඇත.
මේ අතර, මධ්‍යම ගාසා තීරයේ ඊයේ සිදුවූ වෙනත් ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. අල්-අක්සා (Al-Aqsa) රෝහල මගින් මෙම තොරතුර තහවුරු කර ඇති නමුත්, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.
ගාසා තීරයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඉශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර, එම ප්‍රහාර තම හමුදා භටයින්ට එල්ල වූ තර්ජන තුරන් කිරීමේ අරමුණින් සිදුකළ බව ද ඔවුහු සඳහන් කරති.
මීට පෙර, පසුගිය සඳුදා දින ගාසා නගරයේ නාගරික මහජන උද්‍යානය ආසන්නයේ රැස්ව සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අවතැන් වූ ජනතාව රැකවරණය ලබා සිටි ප්‍රදේශයක් වන මෙම ස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
