සොනාල් දිනූෂගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදී ද අගනා ශතකයක් රැස් කිරීමට සොනාල් දිනූෂ අද (27) සමත් විය.
පන්දු 196කදී හතරේ පහර 6ක් සමඟින් ගොඩනැගූ මෙම විශිෂ්ට ඉනිමද සමඟින් තරගයක ඉනිම් දෙකෙහිදීම ශතක රැස්කළ පිතිකරුවන් අතරට එක්වීමට ඔහුට හැකි විය.
විශේෂයෙන්ම, තමන් නියෝජනය කරන කණ්ඩායම පළමු ඉනිමේදී පිටුපසින් සිටියදී තරගයක ඉනිම් දෙකෙහිම ශතක රැස්කළ ලොව තෙවැනි පිතිකරුවා ලෙස සොනාල් මෙහිදී වාර්තා අතරට එක්වූ අතර, මීට පෙර 1948දී ඉන්දියාවේ විජේ හසාරේ සහ 2001දී සිම්බාබ්වේ හි ඇන්ඩි ෆ්ලවර් තබා තිබූ මෙම වාර්තාව ඔහු අලුත් කළේ වසර 25කට පසුව වීම කැපී පෙනේ.
මෙම දස්කම සමඟින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිම් දෙකෙහිදීම ශතක ලබාගත් 101 වන පිතිකරුවා ලෙසත්, එම අද්විතීය සංධිස්ථානය පසුකළ 8 වන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක්වීමට සොනාල් දිනූෂට හැකි විය.
ලොව පළමු වරට 1909දී ඕස්ට්‍රේලියාවේ වොරන් බාඩ්ස්ලි තබා තිබූ මෙම වාර්තාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථමයෙන්ම තැබුවේ 1982 වසරේදී දුලීප් මෙන්ඩිස් විසිනි. ඉන් අනතුරුව අසංක ගුරුසිංහ (1991), අරවින්ද ද සිල්වා (1997 – දෙවරක්), තිලකරත්න ඩිල්ෂාන් (2009), කුමාර් සංගක්කාර (2013, 2014) මෙන්ම 2024 වසරේදී ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ද මෙම දස්කම දක්වා තිබේ.
තවමත් ටෙස්ට් තරග 5කට (ඉනිම් 9) පමණක් ක්‍රීඩා කර ඇති සොනාල් දිනූෂ, මේ වන විට ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් රැස්කරගනිමින් කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කර සිටියි.




