මහවැලි හා වලවේ ජලාශවල ජලය කළමනාකරණය කරමින් කන්න දෙකම සාර්ථක කරගන්න සැලසුම්
මහවැලි අධිකාරියෙන් සියලුම ගොවීන්ට දැනුම්දීමක්
එළඹෙන මහ කන්නය කල් නොදමා වේලාසනින් ආරම්භ කර ජලය සුරක්ෂිත කරගැනීමෙන්, ඊළඟ යල කන්නයද ලබන වසරේ මාර්තු 15වැනිදා හෝ අප්‍රේල් මුල වන විට සාර්ථකව ආරම්භ කිරීමට හැකි වන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දුන්නේ, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය වැඩිවීමේ ප්‍රවණතාවක් පැවතුණද, දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.
එම නිසා ජලය කාර්යක්ෂමව පාලනය කරමින් වගා කටයුතු කඩිනමින් ඇරඹීම ඉතා වැදගත් වේ.
දත්ත උපුටා දක්වමින් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට මහවැලි පද්ධතියට අයත් ජලාශවල සියයට 54ක ජල ධාරිතාවක් සහ වලවේ පද්ධතියේ සියයට 57ක ජල ධාරිතාවක් පවතින බවය.
මෙම ජල ධාරිතාව සැලකිය යුතු මට්ටමක පවතින බැවින්, නිසි ජල කළමනාකරණ සැලසුමකට අනුව කටයුතු කිරීමෙන් කන්න දෙකෙහිම වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙන බව ඔහු අවධාරණය කළේය.
