ආපදාවලට සාර්ථකව මුහුණදීමට ග්‍රාම නිලධාරී වසම් 1000ක 20,000කට විශේෂ පුහුණුවක්: C3R වැඩසටහන මහනුවරින් ඇරඹෙයි
ආපදා තත්ත්වයකට මුහුණදීමට ග්‍රාම නිලධාරී වසම් 1000ක පුද්ගලයින්ට පුහුණුවක්
ආපදා තත්ත්වයකට මුහුණදීමට සිවිල් සංවිධාන ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 1000ක ප්‍රජා සාමාජිකයින් 20,000ක් පමණ දැනුවත් කර පුහුණු කිරීමට අපේක්ෂා කර තබේ.
ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම මෙන්ම එවන් අවස්ථාවල මතුවන ගැටළුවලට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබාදීම මෙන්ම අත්‍යාවශ්‍ය සම්පත් භාවිතාව සම්බන්ධ ප්‍රජාව සවිබලගැන්වීම අරමුණු කරගත් “Training of Trainers on Community Capacity and Resilience for Health Emergency Preparedness and Response (C3R)” විශේෂ පුහුණු වැඩසටහන (18) මහනුවර Myst by Cinnamon හෝටලයේදී ආරම්භ කර තිබේ.
ඒ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග මහතාගේ ප්‍රධානත්වයෙන්.
වර්තමානයේ ගෝලීය වශයෙන් විවිධ ආපදා තත්ත්වයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවටද පසුගිය කාලසීමාව තුළ විවිධ ස්වභාවික හා වෙනත් ආපදා තත්ත්වයන්ට මුහුණදීමට සිදු කළා.
මෙවැනි ආපදා තත්ත්වයන්හිදී පළමුවෙන්ම එම තත්ත්වයන්ට ගොදුරූ වනුයේ එම කලාප ආශ්රිත ප්‍රජාව වේ.
ඒ අනුව මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ ප්‍රජාවට තම ප්‍රදේශයට ආවේණික ආපදා අවදානම් හඳුනාගැනීමට හැකිවන පරිදි දැනුවත් කිරීම, ආපදා අවස්ථාවන්වල දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුව ලබාදීම, එවන් අවස්ථාවක දී ප්‍රජාව සවිබලගැන්වීම සහ අවශ්‍ය උපකරණ හා සම්පත් මනා ලෙස යොදා ගැනීම තුළින් ඔවුන්ගේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.
මෙහි පළමු අදියර ලෙස මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වෙන සමාරම්භක පුහුණු වැඩසටහනට දිස්ත්‍රික්ක 10ක් නියෝජනය වන පරිදි තෝරාගත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය, අධිකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ත්‍රිත්වය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා ජාත්‍යන්තර මට්ටමින් යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහ ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන වසංගත අරමුදලෙහි (The Pandemic Fund) සහයෝගය ද හිමියි.
“ප්‍රජාවේ ප්‍රතිරෝධී හැකියාව ශක්තිමත් කිරීම” (Strengthening Community Resilience) යන සංකල්පය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව අගෝස්තු 18 සහ 19 යන දෙදින තුළ මෙන්ම සැප්තැම්බර් 02 දිනද පැවැත්වීමට ඉහත අමාත්‍යාංශ ත්‍රිත්වය සැලසුම් කළා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එක් එක් ග්‍රාම නිලධාරී වසමට ආවේණික ආපදා අවදානම් සහ වෙනස් වන ආපදා තත්ත්වයන් පළමුව හඳුනාගැනීමට කටයුතු කෙරෙන අතර, ඉදිරි අදියරවලදී මෙම වැඩසටහන මුළු දිවයිනම ආවරණය වන පරිදි පුළුල් කිරීමටද සැලසුම් කළා.
එමෙන්ම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි ප්‍රගතිය හා ප්‍රතිඵල සම්බන්ධයෙන් අඛණ්ඩ පසුවිපරම් වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර, මෙම කාර්යය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරන ග්‍රාම නිලධාරී වසම් ඇගයීමට ලක්කර ඇගයීමෙි ව්‍යාපෘතියක්ද ඉදිරියේදී ක්‍රියාත්මකයි.




