බස් නැවතුම් අවහිර වන සේ වාහන නවත්වන අයට එරෙහිව දැඩි නීතිමය පියවර: පොලීසියෙන් විශේෂ උපදෙස්
බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති - ශ්‍රී ලංකා පොලීසිය
පොදු මගී බස් රථ සඳහා වෙන් කර ඇති නැවතුම් ස්ථාන අවහිර වන පරිදි වෙනත් වාහන නතර කර තැබීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.
මෙලෙස වෙනත් වාහන නතර කර තැබීම නිසා බස් රථ මාර්ගය මැද නතර කිරීමට සිදුවන අතර, එමඟින් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ආරක්ෂාවටද බරපතළ අවදානමක් එල්ල වන බව පොලීසිය පෙන්වා දෙයි. විශේෂයෙන්ම රෝද පුටු භාවිත කරන ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් බස් රථවලට ගොඩවීමට සහ බැසීමට හැකිවන පරිදි බස් නැවතුම් ස්ථාන අවහිරතාවයකින් තොරව පවත්වාගෙන යාම අනිවාර්ය කර ඇත.
බස් නැවතුමකට ළඟාවන දිශාවෙන් මීටර් 30ක් සහ එම ස්ථානයෙන් පිටවන දිශාවෙන් මීටර් 15ක් ඇතුළත වෙනත් කිසිදු වාහනයක් නතර කිරීම තහනම් වේ.
ළඟාවන දිශාවෙන් මීටර් 15ක් සහ පිටවන දිශාවෙන් මීටර් 10ක් ඇතුළත වාහන නතර කිරීම තහනම් කර ඇත.
අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයන්ට අනුව ක්‍රියා කරමින් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නීති අකුරටම ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ශ්‍රී ලංකා පොලීසිය මඟින් උපදෙස් ලබා දී තිබේ.
