2026 අයවැය යෝජනාවකට අනුව ස්ථාපිත කළ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසමේ කටයුතු ඇමැති චන්දන අබේරත්නගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

0
වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු ආරම්භ වේ

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු ආරම්භ වේ

රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.

ඒ පිළිබඳව 2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පිරිස් මහතා සභාපති ධුරයත්, නාලක දිසානායක මහතා ලේකම් ධුරයත් දරන මෙම කොමිෂන් සභාවෙහි සාමාජිකයන් සංඛ්‍යාව පහළොවකි.

මෙම කොමිෂන් සභාවට, රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය විය යුතුද යන්න පිළිබඳ නිර්දේශ ලබා දීම ආදියෙහි වගකීම පවරා ඇත.

එහිදී අදහස් දැක් වූ අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය සේවක වැටුප් පිළිබද ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරනු ලබන්නේ වසර විස්සකට පසුව වන බවත්, විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමට කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ පළමු වතාවට බවත්ය.

රට සංවර්ධනය කර ඉදිරියට රැගෙන යාමේදී විශාල කාර්යභාරයක් රාජ්‍ය නිලධාරීන් වෙත පැවරෙන බැවින් රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බවද, එහිදී රාජ්‍ය සේවයේ පවත්නා ගැටලු විසඳීම ඉතා වැදගත් වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් පිළිබඳ ගැටලු දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ගනිමින් සිටියද ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළි‍වෙළක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවයේ එක් ක්ෂේත්‍රයක සේවකයින්ගේ ගැටලු සාකච්ඡා කර එය විසඳීමට උත්සාහ කළහොත් එයින් තවත් ක්ෂේත්‍රයක සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවට ඇත්දැකීමක් ඇති බවද, ජනාධිපතිවරයාගේ අපේක්ෂාව එවැනි ගැටලු විසඳාගෙන සමස්ත රාජ්‍ය සේවයටම අදාළ වන විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරිම බවද, මෙම කොමිෂන් සභාව එම වගකීම පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඇතුළු දිගුකාලීන ගැටලු සාර්ථක ලෙස විසඳීමට පැවති රජයන් අසමත් වූයේ ඒ සඳහා සැබෑ වුවමනාවක් ඔවුන්ට නොතිබූ නිසා බවද, ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට එම වුවමනාව සහ ඒ වෙනුවෙන් කැප වූ පිරිසක් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com