මෙසී(Lionel Messi)ගෙන් නව ලෝක වාර්තාවක්

0
මෙසී(Lionel Messi)ගෙන් නව ලෝක වාර්තාවක්

මෙසී(Lionel Messi)ගෙන් නව ලෝක වාර්තාවක්

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අඛණ්ඩව තරග 7කදී ගෝල ලබාගත් ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙමින් ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී (Lionel Messi) අද (28) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ජෝර්දානය සමග පැවැති තරගයේ 80 වන විනාඩියේදී, ප්‍රතිවාදී ගෝල සීමාවේ සිට මීටර් 25ක් පමණ දුරින් සිට එල්ල කළ විශිෂ්ට නිදහස් පහරක් (Free Kick) ගෝලයක් බවට පරිවර්තනය කරමින් මෙසී මෙම ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කළා.

මෙම අතිවිශිෂ්ට දක්ෂතාවත් සමග මෙසී විසින් බිඳහෙළනු ලැබුවේ වසර 50කට අධික කාලයක් නොබිඳී පැවැති දශක කිහිපයක පැරණි පාපන්දු වාර්තාවක්.

මීට පෙර 1958 වසරේදී ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් (Just Fontaine) සහ 1970 වසරේදී බ්‍රසීලයේ ජයිර්සින්හෝ (Jairzinho) ලෝක කුසලාන තරගාවලිවලදී අඛණ්ඩව තරග 6කදී ගෝල රැස්කරමින් මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

ලියොනල් මෙසීගේ මෙම අඛණ්ඩ ගෝල දඩයම ආරම්භ වූයේ 2022 වසරේ කටාර්හි පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි.

ඉන් අනතුරුව එම තරගාවලියේදීම නෙදර්ලන්තය සහ ක්‍රොඒෂියාවට එරෙහිව ගෝල ලබාගත් ඔහු, ප්‍රංශය සමඟ පැවැති අවසන් මහා තරගයේදීද තීරණාත්මක ගෝල දෙකක් රැස් කළා.

එම දක්ෂතාව ඉදිරියටම රැගෙන යමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් (Hat-trick) සහ ඔස්ට්‍රියාවට එරෙහිව තවත් ගෝල දෙකක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

ජෝර්දානයට එරෙහිව අද (28) ලබාගත් ගෝලයත් සමග ලියොනල් මෙසී ලෝක කුසලාන තරගාවලිවලදී ලබාගත් සමස්ත ගෝල සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙසීගේ මෙම වාර්තාගත දක්ෂතාවයත් සමග ජෝර්දානය සමඟ පැවැති තරගය ගෝල 3ට 1ක් ලෙස ජයගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com