අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්

0
අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා ජුලි මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අද (23) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන උදයකුමාර නම් අයෙක් වන අතර ඔහු අද(23) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වාහන මිලදී ගැනීම සහ විකිණීමේ ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පැවසුවේය.

නීති විරෝධී ලෙස එකළස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමකින් තොරව එම සිද්ධිය සිවිල් නඩුවක් බවට පත් කොට අවසන් කිරීම සඳහා මෙම සැකකරු පැමිණිකරුගෙන් රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ඉල්ලා තිබේ.

පසුව පැමිණිලිකරු කලුතර ප්‍රදේශයේ සිටින සිය හිතවතෙකු මාර්ගයෙන් මෙම සැකකරු සමග සාකච්ඡා කර තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය ඉදිරියේ සඳහන් කළේය.

ඒ අනුව ඉකුත් වෙසක් දින කලුතර ප්‍රදේශයේ අවන්හලක දී මෙම සැකකරු විසින් පැමිණිලිකරු හමුවී ඇති අතර එහිදී මෙම වාහනය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු නොකිරීම සදහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඉල්ලා එය ලක්ෂ 15 දක්වා අඩුකොට ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක මුදලකට එකඟ වී තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසීය.

ඉන් පසුව සැකකරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති අතර ඉන් පසුව ඉතිරි මුදල් ඊයේ (22) දින අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගත් බවත් එම කොමිසමේ නිලධාරීන් පැවසුවේය.

මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් රස පරීක්ෂක වාර්තාව මෙන්ම සී.සී.ටී.වී වාර්තා ලැබී නොමැති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළේ අල්ලස් කොමිසම සඳහන් කරන ආකාරයට තමන් මුදල් ලබා ගෙන නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන ජූලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ලෙස නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com