ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු
ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු
රටපුරා මේ වන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (262 වන වගන්තිය) හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥා පනත යටතේද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ බවය.
රටතුළ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා පොලීසිය මැදිහත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසය හා පොලිස් ස්ථානයන් හී ස්ථාපිත පරිසර අංශයන් හී නිලධාරීන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා එක්ව මහජනයා දැනුවත් කරමින් මෙය වළක්වා ගත හැකි ක්‍රමවේදයන් සම්බන්ධව මහජනතාවට අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.
එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අනෙකුත් සෞඛ්‍ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ හා රාජ්‍ය ආයතන සමග ඒකව ඩෙංගු මර්ධනය සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවාස, නිවාස සංකීර්ණ, පාසල්, රාජ්‍ය ආයතන සේවා ස්ථාන, ආගමික ස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍ර මූලික කරගෙන පරීක්ෂාවන් සිදු කිරීම මෙම වැඩපිළිවෙල යටතේම ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
පොලීසිය සිය නිවේදනය මගින් දැනුම්දී ඇත්තේ මහජනතාව ලෙස ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පදිංචි නිවාසවලට හෝ ආයතන පරිශ්‍රයන් වෙත පැමිණෙන පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙසත් තමන් ජීවත්වන වටපිටාව ඩෙංගු මරුදුවන් ව්‍යාප්ත නොවන ආකාරයට පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසත්ය.
මෙම පියවරයන්ට අනුගත නොවන ආකාරයට කටයටුතු කරමින් නොසැලකිලිමත්ව ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට එම පරිශ්‍රයන් පවත්වාගෙන යන්නන්ට අවවාද කිරීමත් සමග නිතර නිතර එම පරිශ්‍රයන් පරීක්ෂා කිරීමේදී නොසැලකිලිමත්ව ක්‍රියාත්මක වීම නීතිමය පියවරයන්ට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් පොලීසිය අදාළ නිවේදනය මගින් මහජනතාවට වැඩිදුරටත් දැනුම්දී තිබේ.




