එල් නිනෝ සක්‍රිය වෙයි – අමෙ­රි­කාවේ විද්‍යා­ඥ­යන්

0
එල් නිනෝ සක්‍රිය වෙයි - අමෙ­රි­කාවේ විද්‍යා­ඥ­යන්

එල් නිනෝ සක්‍රිය වෙයි - අමෙ­රි­කාවේ විද්‍යා­ඥ­යන්

පැසි­ෆික් සාග­රයේ මතු­පිට ජලයේ උෂ්ණ­ත්වය ඉහළ යෑමේ ස්වාභා­වික කාල­ගුණ රටාව ලෙස සැල­කෙන එල් නිනෝ තත්ත්වය සක්‍රිය වී ඇතැයි අමෙ­රි­කාවේ විද්‍යා­ඥ­යන් ප්‍රකාශ කර තිබේ.

පසු­ගිය මාස කිහි­පය ඇතු­ළත සාගර මතු­පිට ජලයේ උෂ්ණ­ත්වය අධික ලෙස ඉහළ යෑමත් සමඟ නිව­ර්තන පැසි­ෆික් කලා­පය තුළ මේ වන විට එම තත්ත්වය වර්ධ­නය වෙමින් පව­තින බව අමෙ­රි­කාවේ ජාතික සාගර සහ වායු­ගෝ­ලීය පරි­පා­ලන ඒජ­න්සිය නිවේ­ද­නය කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. දැනට පළ කර ඇති බොහෝ පුරෝ­ක­ථන­ව­ලට අනුව මෙය සුපිරි එල් නිනෝ තත්ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ හැකි­යා­වක් පව­තින බවත්, එය ඉති­හා­සයේ වාර්තා වූ ප්‍රබ­ල­තම එල් නිනෝ තත්ත්ව­යක් බවට පත්වී­මට ඉඩ­කඩ ඇති බවත් වාර්තා වේ.

දශක ගණ­නා­වක් පුරා ගෝලීය මානව ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් සිදු­වන ගෝලීය උෂ්ණ­ත්වය ඉහළ යෑම සහ වර්ධ­නය වෙමින් පව­තින එල් නිනෝ තත්ත්ව­යත් සමඟ ලබන 2027 වසර ලොව වාර්තා­ගත උණු­සුම් වස­රක් බවට පත්වනු ඇතැයි ලෝක කාල­ගුණ විද්‍යා­ඥ­යන් දැන­ට­මත් අන­තුරු අඟවා තිබේ. මෙහි බල­පෑම් නිසා ලොව පුරා විවිධ කාල­ගුණ රටා­වන්ට මෙන්ම ආහාර සැප­යුම සහ ආර්ථි­ක­ය­ටත් එල්ල විය හැකි බාධා­වන් 2027 වසර පුරාම පැව­තීමේ අව­දා­න­මක් ද මතු වී ඇති බව බීබීසී පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. මධ්‍යම හා නිව­ර්තන පැසි­ෆික් සාග­රයේ මතු­පිට උෂ්ණ­ත්වය මේ වන විට සෙල්සි­යස් අංශක 0.5 සීමාව පසු­කර ඇති බව අමෙ­රි­කාවේ විද්‍යා­ඥ­යන් තහ­වුරු කර තිබේ. ඒ සම­ඟම සමක පැසි­ෆික් කලා­ප­යට ඉහ­ළින් සුළං රටා­වන් ද සැල­කිය යුතු අයු­රින් වෙනස් වීමට පට­න්ගෙන ඇතැයි නිරී­ක්ෂ­ණය වූ බව අමෙ­රි­කාවේ ජාතික සාගර සහ වායු­ගෝ­ලීය පරි­පා­ලන ඒජ­න්සිය සඳ­හන් කර ඇති අතර, එය එල් නිනෝ තත්ත්ව­යට වායු­ගෝ­ලීය ප්‍රති­චාර දැක්වී­මට පටන් ගැනීමේ සංඥා­වක් බවද ප්‍රකාශ කර තිබේ.

ඉදි­රි­යේදී ලෝක ප්‍රජා­වට මුහුණ පෑමට සිදු­වන එල් නිනෝ තත්ත්වය පිළි­බඳ මුලින්ම අනා­වැ­කි­යක් පළ කර ඇත්තේ ජාතික සාගර සහ වායු­ගෝ­ලීය පරි­පා­ලන ඒජ­න්සියේ භූ භෞතික විද්‍යා අංශයේ කාල­ගුණ විද්‍යා­ඥ­යකු වන නැට් ජොන්සන් බව ද වාර්තා වේ. පසු­ගිය මාර්තු­වේදී ඔහු නැඟෙ­න­හිර නිව­ර්තන පැසි­ෆික් සාග­රයේ අසා­මාන්‍ය ලෙස උණු­සුම් වන ජලය හේතු­වෙන් පුළුල් බල­පෑ­මක් සහිත දේශ­ගු­ණික රටාව වන එල් නිනෝ තත්ත්වය පුරෝ­ක­ථ­නය කිරිම සඳහා නිර්මා­ණය කර ඇති පෘථිවි පද්ධති ආකෘ­ති­යෙන් එවැනි තත්ත්ව­යක් මතු­වෙ­මින් පව­තින බව නිරී­ක්ෂ­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. මෙවර නිර්මා­ණය වෙමින් පව­තින එල් නිනෝ තත්ත්වය සමාන වන්නේ 1997 වසරේ සිදුවූ එල් නිනෝ­වට පම­ණක් බව නැට් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.

වසර 1997-1998 කාල­සී­මාවේ උද්ගත වූ එල් නිනෝ තත්ත්වය ලෝක ඉති­හා­සයේ සිදුවූ වඩාත්ම ප්‍රබල එල් නිනෝව ලෙස සැල­කෙන අතර, එහි ප්‍රථි­ප­ල­යක් ලෙස ලොව පුරා නියඟ, ගංව­තුර සහ වෙනත් ස්වාභා­වික විපත් රැසක් සිදුවී ඇතැයි වාර්තා වේ. සාමාන්‍ය එල් නිනෝ තත්ත්ව­ය­කදී වායු­ගෝ­ලයේ උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 0.25%කින් පමණ ඉහළ ගියද, 1997දී වායු­ගෝ­ලීය උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 1.5කින් ඉහළ ගොස් තිබේ. එම­ඟින් ලොව පුරා කොර­ල්පර පද්ධ­ති­ව­ලින් 16%ක් පමණ විනා­ශ­යට පත්වී ඇතැයි ද වාර්තා වේ. මේ අසා­මාන්‍ය දේශ­ගු­ණික විප­ර්යා­සය හේතු­වෙන් ගෝලීය වශ­යෙන් විශාල මූල්‍ය­මය හානි­යක් සිදුවී ඇති අතර, අන­තු­රුව ගත වූ වසර 5 ඇතු­ළත ලොව සමස්ත ආර්ථික හානිය අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 7.5ක් පමණ වන බවට ඇස්ත­මේන්තු කර තිබේ.

පේරු රාජ්‍යයේ වෙර­ළට ඔබ්බෙන් පිහිටි සාමාන්‍ය සිසිල් සාගර කලා­පය දෙසට උණු­සුම් ජලය ගලා ඒමත් සමඟ එල් නිනෝ තත්ත්වය ආරම්භ වූ බවට ජාතික සාගර සහ වායු­ගෝ­ලීය පරි­පා­ලන ඒජ­න්සිය නිල වශ­යෙන් ප්‍රකාශ කර ඇත්තේ භූ භෞතික විද්‍යා අංශයේ කාල­ගුණ විද්‍යා­ඥ­යකු වන නැට් ජොන්සන්ගේ පුරෝ­ක­ථනය තහ­වුරු කර­මින් බවද වාර්තා වේ. මේ වසරේ අග­භා­ග­යේදී එම තත්ත්වය ඉතා ප්‍රබල මට්ට­මක් දක්වා වර්ධ­නය වීමේ සම්භා­වි­තාව 63%ක් බවට ඇස්ත­මේන්තු කර ඇති අතර, එය පසු­ගිය මැයි මාස­යේදී එම ඒජ­න්සිය ලබා දුන් සම්භා­වි­තා­වට වඩා දෙගු­ණ­යක වැඩි­වී­මක් බව සඳ­හන් වේ.

විදෙස් මාධ්‍ය සඳ­හන් කර ඇත්තේ කාල­ගුණ විද්‍යා­ඥ­යන් පළ කර ඇති පුරෝ­ක­ථන එලෙ­සම පව­තින්නේ නම් ලබන නොවැ­ම්බ­රය වන විට නිව­ර්තන පැසි­ෆික් සාග­රයේ ජලය සෙල්සි­යස් අංශක 2.4ක් දක්වා උණු­සුම් විය හැකි බවය. එම තත්ත්වය මත ගෝලීය කාල­ගුණ රටා­වන් අවුල් ජාල­යක් බවට පත්වනු ඇතැයිද, අමෙ­රි­කාව, නැඟෙ­න­හිර අප්‍රි­කාව සහ චීනයේ ඇතැම් පළා­ත්ව­ලට ගංව­තුර තත්ත්ව­යක් සහ ඉන්දු­නී­සි­යාව, ඔස්ට්‍රේ­ලි­යාව සහ දකුණු අප්‍රි­කාව ඇතුළු කලා­ප­ව­ලට දැඩි නියඟ හා ළැව්ගිනි තත්ත්ව­යක් ඇති­වීමේ අව­දා­න­මක් මතු­වනු ඇතැයිද වාර්තා වේ.

එල් නිනෝ යනු මීට සිය­වස් ගණ­නා­ව­කට පෙර නත්තල් සම­යක පේරූ රාජ්‍යයේ වෙරළ සීමා­වට පැමිණී උණු­සුම් සාගර ජලය එහි ධීව­ර­යන් විසින් ජේසු බිලිඳාට උප­හාර ලෙස හැඳින්වූ නාමය බවත්, ස්පාඤ්ඤ වද­නක් වන එහි අර්ථය කුඩා පිරිමි දරුවා බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. අද වන විට සමස්ත පෘථි­විය උණු­සුම් කරන ප්‍රබ­ල­තම ස්වාභා­වික දේශ­ගු­ණික රටාව හැඳි­න්වි­මට යොදා ගෙන ඇත්තේ එම වදන බව සඳ­හන් වේ. එහි ප්‍රති­වි­රුද්ධ දේශ­ගු­ණික රටාව වන සාගර ජලය අසා­මාන්‍ය ලෙස සිසි­ල්වීම එල් නිනා ලෙස හඳු­න්වන අතර, එහි අර්ථය කුඩා ගැහැනු දරුවා බව වාර්තා වේ.

– DINAMINA

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com