උතුරෙන් හමුවූ විශාලතම සමූහ මිනිවළ බවට යාපනය චෙම්මනි මිනිවළ පත්වෙයි, සිරුරු 351ක කොටස්
උතුරෙන් හමුවූ විශාලතම සමූහ මිනිවළ බවට යාපනය චෙම්මනි මිනිවළ පත්වෙයි, සිරුරු 351ක කොටස්
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් මෑතකදී සොයාගත් සමූහ මිනිවළ, මේ වන විට උතුරු පළාතෙන් වාර්තා වූ විශාලතම සමූහ මිනිවළ බවට පත්ව තිබේ. (15) දින සිදුකළ කැනීම්වලදී තවත් මිනිස් සිරුරු 10කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීමත් සමඟ, මෙතෙක් එම මිනිවළෙන් මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් ඇත.
මීට පෙර උතුරු පළාතේ විශාලතම සමූහ මිනිවළ ලෙස සැලකුණේ මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමුවූ, මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ මිනිවළයි.
කැනීම් කටයුතු සහ නවතම තොරතුරු
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා සඳහන් කළේ, ඊයේ දිනෙන් අවසන් වූ චෙම්මනි සමූහ මිනිවළේ 6 වැනි අදියරේ 25 වැනි දිනය වන විට සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති බවයි. ඉන් සිරුරු 351ක කොටස් මේ වන විටත් ගොඩගෙන අවසන්ය.
2026 අප්‍රේල් 27 වැනිදා ආරම්භ වූ කැනීම්වල 6 වැනි අදියර තුළින් පමණක් මිනිස් සිරුරු 112ක කොටස් ගොඩගෙන තිබේ. මීට පෙර 2025 සැප්තැම්බර් 06 වැනිදා නිමාවට පත් වූ 5 වැනි අදියර අවසන් වන විට සිරුරු 239ක කොටස් ගොඩගෙන තිබුණි. මෙම කැනීම් අතරතුර කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද හමුවී ඇති බව වාර්තා වේ.
විමර්ශන කටයුතු සිදුකරන විශේෂඥ කණ්ඩායම
මෙම කැනීම් කටයුතු යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදු කෙරේ. ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එක්ව සිටිති. දැනට හමුවී ඇති සියලුම අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා භාරයේ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ සුරක්ෂිතව තබා ඇත.




