රුමේෂ් තරංගගෙන් හෙල්ල විසිකිරීමෙන් ඉතිහාසගත දක්ෂතාවක්

0
රුමේෂ් තරංගගෙන් හෙල්ල විසිකිරීමෙන් ඉතිහාසගත දක්ෂතාවක්

රුමේෂ් තරංගගෙන් හෙල්ල විසිකිරීමෙන් ඉතිහාසගත දක්ෂතාවක්

ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

මෙරට වේලාවෙන් බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ පැවති මෙම ඉසව්වේදී රුමේෂ් තරංග මීටර් 92.62ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී දක්ෂතාව වාර්තා කළේය.

ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන මෙම තරගාවලියේදී 23 හැවිරිදි රුමේෂ් දැක්වූ දක්ෂතාව, නව තරගාවලි වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම විය.

රුමේෂ් මෙහිදී අබිබවා යනු ලැබුවේ මීට වසර 20කට පෙර එනම්, 2006දී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.34ක දුරක් විසිකරමින් පිහිටුවා තිබූ තරග වාර්තාවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු හා එකම අවස්ථාව මෙය වන අතර, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව වේ.

එහි පෙරමුණේ පසුවන පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් අවසන්වරට පැවති පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 92.97ක දක්ෂතාවක් දැක්වූ අතර, ඔහු හා රුමේෂ් අතර ඇත්තේ සෙ.මී. 35ක් වැනි සුළු වෙනසකි.

එමෙන්ම හෙල්ල විසිකිරීමෙන් මීටර් 90 සීමාව පසු කළ සිව්වන ආසියානුවා ඔහුය. රුමේෂ්ට පෙර චීන තායිපේ හි චෙං චාඕ-සුන් (මීටර් 91.36), ඉන්දියාවේ හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර නීරාජ් චොප්රා (මීටර් 90.23) එම දක්ෂතාව දක්වා තිබුණි.

තවද රුමේෂ්ගේ මෙම දක්ෂතාව ලෝක හෙල්ල විසිකිරීමේ වාර්තා අතර ලොව 8වැනි හොඳම විසිකිරීම විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com