මුදල් අච්චු ගසන චෝදනාවට මහ බැංකුවෙන් පිළිතුරු
මුදල් අච්චු ගසන චෝදනාවට මහ බැංකුවෙන් පිළිතුරු
මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ මුදල් අච්චු ගැසීම යනු තාක්ෂණිකව සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහ බැංකුව තවමත් මුදල් අච්චු ගසන බවට පැතිර යන කතා සත්‍යයක්දැයි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සඳුදා (01) පැවැති දේශපාලන වැඩසටහනකදී, විමසා සිටි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.
අලුතින් නිකුත් වන මුදල් නෝට්ටුවල ජනාධිපතිවරයාගේ අත්සන පවතින බව පෙන්වමින් මහ බැංකුව දිගින් දිගටම සල්ලි අච්චු ගසන බවට ඇතැම් පාර්ශ්වයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රකාශ, ජනතාව හිතාමතාම නොමඟ යැවීම සඳහා කරන අසත්‍ය ප්‍රචාර බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.
දිරාපත් වූ සහ භාවිතයෙන් ඉවත් කරන නෝට්ටු වෙනුවට අලුතින් නෝට්ටු මුද්‍රණය කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් බවත්, එය රජයේ අයවැය හිඟය පියවීමට සිදු කරන මුදල් අච්චු ගැසීමක් නොවන බවත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.
ඔහු පවසන්නේ, මහ බැංකුව විසින් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව පාලනය කිරීම සඳහා සිදු කරන ඕපන් මාර්කට් ඔපරේෂන්ස් සහ පුළුල් මුදල් සැපයුම වැනි සංකීර්ණ ආර්ථික විද්‍යාත්මක සංකල්ප, සාමාන්‍ය ජනතාව ව්‍යාකූල වන ආකාරයෙන් එකට පටලවා කතා කරන බවයි.
2021 සහ 2022 වර්ෂවලදී රජයේ අයවැය හිඟය පියවීමට දිගින් දිගටම විශාල වශයෙන් මුදල් අච්චු ගැසීම නිසා රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බැවින් ජනතාව තුළ ඒ පිළිබඳව විශාල බියක් පවතින බවත්, කරුණු දැන දැනම ජනතාව තුළ එම අනියත භීතිය ඇති කරමින් නොමඟ යැවීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම නව මහ බැංකු පනත සම්මත වීමෙන් පසුව රජයට ණය පිණිස මෙලෙස මුදල් අච්චු ගැසීම මහ බැංකුවට නීතියෙන්ම තහනම් කර ඇති බව ප්‍රකාශ කළ නන්දලාල් වීරසිංහ මහතා, 2023 වර්ෂයේ සිට මේ දක්වා මහ බැංකුව එවැනි කිසිදු මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත්, එය නවත්වා දැන් බොහෝ කල් වන බවත් කියා සිටියා.
වර්තමානය වන විට රජයේ වියදම් පියවීම සඳහා මහ බැංකුවෙන් මුදල් මුද්‍රණය කර ලබාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බව පැහැදිලි කළ මහ බැංකු අධිපතිවරයා, මේ වන විට රජය සතුව නිසි සංචිත පවතින බවත්, බදු ආදායම් එකතු කරගනිමින් රාජ්‍ය භාණ්ඩාගාරය තුළ අතිරික්තයක් පවත්වාගෙන යන බවත් වැඩිදුරටත් අවධාරණය කළා.




