බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට

0
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට

බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට

රජය විසින් ආනයනය කළ මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් (Battery Energy Storage System – BESS)ඊයේ දින(30) අලුයම කොළඹ වරායට ගෙන එනු ලැබුවා.

2025 වසරේ ජූලි මාසයේදී මෙම ධාරිතාව සහිත බැටරි 16ක් ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවූ අතර, ඉන් 6ක් මෙලෙස රැගෙනවිත් තිබෙනවා.

මේ පිළිබඳ නිවේදනයක් නිතුක් කරමින් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම බලශක්ති ගබඩා පද්ධති 6 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

මෙම එක් පද්ධතියකින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලිබල ශක්තියන් ගබඩා කිරීමට හැකි අතර, ඉන් උපරිම විදුලිබල ඉල්ලුම අවශ්‍ය රාත්‍රි කාලයේදී මෙගාවොට් 10ක් ජාතික පද්ධතියට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව පද්ධති 6න් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60ක් බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම බලශක්ති ගබඩා පද්ධති පාලනය හා කළමණාකරණය සිදුකරනු ලබන්නේ, බලශක්ති අමාත්‍යාංශයට අයත් NSO (National System Operator Ltd) සමාගමෙන් වන අතර, නඩත්තු කටයුතුද අදාළ සමාගම්වලට පැවරී තිබෙනවා.

මෙලෙස බලශක්ති ගබඩා පද්ධති (BESS) යොදාගෙන විදුලිබල ශක්තිය ස්ථාවර කිරීමක් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට බවද සඳහන් වනවා.

මේ වනවිට ඉන්ධන මඟින් විදුලිබලය උත්පාදනයේදී එක ඒකකයක් (Unit – 1) සඳහා රුපියල් 115ක් වැයවන බවත්, BESS පද්ධති මඟින් උත්පාදනයේදී වැයවන්නේ ඒකකයකට රුපියල් 30ක් බවද නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව එහි ප්‍රතිලාභය ඉදිරියේදී විදුලි පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකිවනු ඇති බවත්, ඉන්ධන මඟින් විදුලිබලය උත්පාදනය සඳහා මාසිකව වැය කරන ඩොලර් මිලියන 2.6ක විදේශ විනිමය ඉතිරිකරගැනීමට හැකිවනු ඇති බවත් එහි සඳහන් වේ.

BESS පද්ධති මඟින් කාබන් විමෝචනය සහ වායු දූෂණය සිදු නොවන අතර, ඒ හේතුවෙන් පාරිසරික හානිද අවම වනු ලබයි.

චීනය සිය බලශක්ති උත්පාදනයෙන් 50%කට වැඩි ප්‍රමාණයන් මෙම BESS පද්ධති යොදා සිදුකරන අතර, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැනි රටවල්වලද එම තාක්ෂණය භාවිතා කරන බවත් නිවේදනයේ දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com