විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515කුට පත්වීම්; හෙද සේවයට 13,600ක් බඳවා ගැනීමට සැලසුම්
විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515කුට පත්වීම්; හෙද සේවයට 13,600ක් බඳවා ගැනීමට සැලසුම්
විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත්වුණි.
විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර තිබුණේ 2021 වර්ෂයේදීය. වසර පහක කාලයකට පසුව මෙම උපාධිධාරී හෙද බඳවා ගැනීම් නැවත රට වෙනුවෙන් සිදු කිරීමට ලැබීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ 2025-2029 කාලසීමාව තුළ හෙද සේවයට අලුතින් 13,600ක පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි. එම ඉලක්කයෙන් 50%ක ප්‍රමාණයක්, එනම් හරි අඩක්ම මේ වසර අවසන් වනවිට සපුරාලීමට කටයුතු කරන බවද පැවසීය.
මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ හෙද නිලධාරීන් 43,553ක ශ්‍රම බලකායක් සක්‍රීය සේවයේ නිරතව සිටිති.
ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441 දෙනෙකු සේවයට බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇත.
එසේම, ඉදිරියේදී සෞඛ්‍ය සේවයට එක්වීම වෙනුවෙන් දිවයින පුරා හෙද විදුහල් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,800කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සිය වෘත්තීය පුහුණුව ලබමින් සිටින අතර, අනාගත සායනික සේවා අවශ්‍යතා සලකා බලා ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතියට තවත් නවක සිසුන් 3,000ක් බඳවා ගැනීම සඳහා වන අනුමැතිය ද මේ වන විට ලබාගෙන අවසන්ය.




