ජංගම දුරකථන 87ක් සමඟ චීන ජාතිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට
ජංගම දුරකථන 87ක් සමඟ චීන ජාතිකයන් 3ක් අත්අඩංගුවට
චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු විසින්, මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම සදහා යොදා ගැනීමට අවශ්‍ය යැයි සැක කෙරෙන, රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ”හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් බදාදා (19) රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම චීන ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක සහ 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි ගුවන් මගීන් තිදෙනෙකු සිටිති.
ඔවුන් ඊයේ රාත්‍රී 06.43ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී මෙම සැකකාර චීන ජාතිකයින් තිදෙනා අතරින් පළමුවෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ”හරිත මාවත” වෙත පිවිසි චීන ජාතික පිරිමි ගුවන් මගියා විසින්, ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ලබා දෙන පොලිතීන් බෑග් අතර, රැගෙන පැමිණි කලු පැහැති ”ටියුලිප් ” වර්ගයයේ පොලිතීන් බෑගය පිළිබද සැක සිතූ රේගු නිලධාරීන්, එය පරීක්ෂ කිරීමේදී, ටොෆී, චොකලට් අතර සගවා ගෙන තිබූ, මෙම ජංගම දුරකථන තොගයෙන් පළමු කොටසක් සොයා ගෙන ඇත.
ඉන්පසුව ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී, ඔහු ඇද සිටි ඇදුමට යටින්, විශේෂයෙන් සකස් කළ ජැකට්ටවක් තුළද, ඔහුට පසුපසින් පැමිණි චීන ජාතික කාන්තාව පැළද සිටි පාවහන් වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන් මගියාගේ ගමන් මල්ල තුළද, ජංගම දුරකථන 87ක් සහ ඒවාට යොදන බැටරි 140ක් සගවා ගෙන පැමිණ ඇත.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොවුන් තිදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.






