කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්
කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලමින් සිදු කරන ලද නිල ඉල්ලීම කතානායක වෛද්‍ය ජගත් කුමාර වික්‍රමරත්න විසින් ප්‍රතික්ෂේප කර කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම විසින් සිදු කරනු ලැබ ඇතැයි සඳහන් ව්‍යවස්ථාපිත වරදක් සම්බන්ධයෙන් වන වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් මතු කිරීමට අවසර පතමින් කතානායකවරයා වෙත කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.
මෙම ප්‍රතික්ෂේප කිරීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය පාර්ලිමේන්තු අධීක්ෂණ කාර්යය ඉටු කිරීමට බාධා පැමිණවීම, රජයේ මුදල් සහ ව්‍යවස්ථාපිත වගවීම සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ මැදිහත්වීම සීමා කිරීම, මහජන වැදගත්කමක් ඇති කරුණු මතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති වරප්‍රසාද අඩපණ කිරීම හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ චෝදනා පිළිබඳ ආයතනික විනිවිදභාවය සීමා කිරීම යන ගැටලු මතුව ඇති බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.
එහි දී වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න සහ ව්‍යවස්ථාපිත පාලනයට අදාළ කරුණු මතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන බවත්, එවැනි කරුණක් ඉදිරිපත් කිරීමට හෝ මූලික වශයෙන් සලකා බැලීමට පවා අවසර නොදීස ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු වගවීම් යාන්ත්‍රණය පිළිබඳ බරපතල ගැටලු මතු කරන බවත් මන්ත්‍රීවරයා එම පෙත්සම හරහා දක්වා ඇත.
ඒ අනුව, මෙම ක්‍රියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සහ කාර්යභාරයට බලපාන කරුණක් ලෙස සලකා අවධානය යොමු කරන ලෙසත්, අදාළ වරප්‍රසාද යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ කරුණු සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් පැහැදිලි කිරීම් ලබා ගන්නා ලෙසත්, මෙම ප්‍රතික්ෂේප කිරීම හරහා ජාත්‍යන්තරව පිළිගත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය, වගවීම සහ පාර්ලිමේන්තු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ මූලධර්ම උල්ලංඝනය කරන්නේද යන බව සලකා බලන ලෙසත් මන්ත්‍රීවරයා අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙතින් ඉල්ලා ඇත.




