බලශක්ති අර්බුදය හේතුවෙන් කෘෂිකර්මාන්තය සහ පානීය ජල සැපයුම බරපතළ අනතුරක – දුමින්ද නාගමුව
බලශක්ති අර්බුදය වසා ගැනීමට ගොස් කෘෂිකර්මාන්තය සහ පානීය ජල සැපයුම බරපතළ අනතුරක - දුමින්ද නාගමුව
ගල්අඟුරු වංචාවෙන් ඇති වූ බලශක්ති අර්බුදය වසා ගැනීමට ගොස් ආණ්ඩුව රටේ කෘෂිකර්මාන්තය සහ පානීය ජල සැපයුම බරපතළ අනතුරක හෙළා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසනවා.
අද (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉඳුරුවේ ආචාරියා එකක් වසන්නට ගොස් සියක් කඩතොලු හදාගත්තා සේ ආණ්ඩුව එක් වංචාවක් වසා ගැනීමට ගොස් රට පුරා අර්බුද රාශියක් වපුරමින් සිටින බවයි.
2026 මාර්තු 24 වැනිදා කෘෂිකර්ම සහ බලශක්ති අමාත්‍යවරුන් ගත් තීරණයකට අනුව, බලශක්ති අංශයෙන් රුපියල් මිලියන 7,260ක් ඉතිරි කරගැනීමේ අරමුණින් වික්ටෝරියා ජලාශයේ ජලය දැවැන්ත ලෙස මුදාහරිමින් පවතින බව දුමින්ද නාගමුව මහතා එහිදී හෙළි කළා.
එමෙන්ම වික්ටෝරියා ජලාශයේ පවත්වාගත යුතු ඝන මීටර මිලියන 405ක ජල ධාරිතාව, ඝන මීටර මිලියන 330කින් අඩු කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවත්, ඒ අනුව අවසානයේ ඉතිරි වන්නේ මිලියන 75ක අවම ධාරිතාවක් පමණක් බවත් ඔහු පෙන්වාදෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එල්නිනෝ තත්ත්වයක් සහ දැඩි නියඟයක් පිළිබඳ අනාවැකි පළ කර ඇති පසුබිමක, මෙලෙස ජලාශයේ ජලය මුදාහැර හිස් කිරීම ඉතා අමනෝඥ ක්‍රියාවක් බවද දුමින්ද නාගමුව වැඩිදුරටත් අවධාරණය කළා.
මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් මේ වන විටත් බලගොල්ල, දිගන ඇතුළු ප්‍රදේශවල ජල සම්බන්ධතා 17,000කට පානීය ජලය අහිමි වී ඇති බවත්, බලගොල්ල පොම්පාගාරය අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු පෙන්වාදෙනවා.
දිනකට ඝන මීටර 12,000ක් අවශ්‍ය ජනතාවට බවුසර් මඟින් ලබාදෙන්නේ ඝන මීටර 500 බව පැවසූ දුමින්ද නාගමුව, ජලය නොමැති වීම නිසා ආයෝජන කලාපයේ කර්මාන්තශාලා පවා අප්‍රේල් 10 වැනිදා සිට වසා දමා ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා සිය ‘කලිසම බේරා ගැනීමට’ ගත් මෙම තීරණය නිසා රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ පානීය ජල අයිතියටත් බරපතළ පහරක් වැදි ඇති බවත් ප්‍රකාශ කළා.
එමෙන්ම වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් මෙලෙස අසීමිත ලෙස ජලය මුදාහැරීම නිසා ඉදිරි වගා කන්නයේදී මිනිපේ සහ මහවැලි සී කලාපයේ ගොවීන්ට ජලය නොමැති වීමේ අවදානමක් පවතින බව ඔහු අනතුරු ඇඟවූවා.
ඔහු පවසන්නේ, අස්වැන්න අඩු වීම හරහා සහල් මිල ඉහළ ගොස් එහි බර පාරිභෝගිකයා මත පැටවෙන බවයි.
කෙසේවෙතත් ගල්අඟුරු වංචාවේ පාඩුව වසා ගැනීමට ජලාශවල වතුර මුදා හැරීම වහාම නතර කරන ලෙසත්, මාර්තු 24 වැනිදා ගත් අමනෝඥ තීරණය වහාම අකුලා ගන්නා ලෙසත් දුමින්ද නාගමුව මහතා රජයට බලකර සිටියි





