හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම්වලට ප්රහාර – ට්රම්ප්ගෙන් දැඩි තර්ජනයක්
හෝමූස් විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර සහ පාලම්වලට ප්රහාර - ට්රම්ප්ගෙන් දැඩි තර්ජනයක්
හෝමූස් සමුද්ර සන්ධිය යළි විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වන විට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ඊයේ (05) සිය සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඉතා රළු සහ අපහාසාත්මක භාෂාවකින් මෙම තර්ජනය සිදු කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ඇමෙරිකාව සහ ඊශ්රායලය එක්ව මීට මාසයකට පෙර ඉරානයට එල්ල කළ ප්රහාරවලින් අනතුරුව, ඉරානය විසින් ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්ර සන්ධිය වසා දැමුවා.
ජනාධිපති ට්රම්ප් සිය සටහන අවසන් කරමින් දැඩි ලෙස පවසා සිටියේ, “පිස්සු තිරිසනුනේ, ඔය සමුද්ර සන්ධිය වහාම විවෘත කරපල්ලා, නැත්නම් උඹලා නිරයේ ජීවත් වෙන්න සූදානම් වෙයල්ලා – බලාගෙන හිටපල්ලා!” යනුවෙන්.
ඔහු මෙම පාස්කු ඉරිදා උදෑසන තැබූ සටහන අවසන් කර තිබුණේ “අල්ලාහ් දෙවියන්ට ප්රශංසා වේවා” යන වැකියකින්.
මේ අතර, ඉරානය තුළදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු ගුවන් යානයක සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු අමෙරිකානු හමුදාව විසින් බේරා ගැනීමෙන් පසුව, ජනාධිපතිවරයා සඳුදා දිනයේදී ඕවල් කාර්යාලයේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බවද නිවේදනය කර තිබෙනවා.






