තට්ටු නිවාසවල උඩ මහල්වලට ජලය අහිමි වීමේ අවදානමක්

0
තට්ටු නිවාසවල උඩ මහල්වලට ජලය අහිමි වීමේ අවදානමක්

තට්ටු නිවාසවල උඩ මහල්වලට ජලය අහිමි වීමේ අවදානමක්

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල පරිභෝජනය ඉහළ යාම නිසා ඉදිරි දිනවලදී තට්ටු දෙකේ නිවාසවල ඉහළ මහල්වලට ජලය නොලැබී යාමේ හෝ ජල පීඩනය අවම වීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා ජල නල පද්ධතියේ ‘වෑල්ව්’ (Valves) ක්‍රියාත්මක කරමින් යම් යම් ප්‍රදේශවලට ජලය සැපයීම සීමා කිරීමටත්, එමගින් ජලය නොලැබී යන ප්‍රදේශවලට ජලය ලබා දීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

අද දින (03) සිට ආරම්භ වන සතිය තුළ, මෙතෙක් පැය 24 පුරා අඛණ්ඩව ජලය ලබාදුන් සමහර ප්‍රදේශවලට යම් කාල සීමාවන් සඳහා ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව සභාපතිවරයා පැවසීය.

අධික ඉල්ලුම නිසා ජල නල පද්ධතියේ අවසාන කොටස්වලට සහ උස් බිම්වල පිහිටි නිවාසවලට ජලය ලැබීම දැනටමත් අඩාල වී ඇති බැවින්, මෙම තීරණය ගත් බව ඔහු පෙන්වාදෙනවා.

ජල මූලාශ්‍රවල පවතින අවදානම පැහැදිලි කරමින් සභාපතිවරයා කියා සිටියේ, කලටුවාව ජලාශයේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාවෙන්ම ජලය ලබා දුන්නොත් එය ප්‍රමාණවත් වන්නේ තවත් දින 20කට පමණක් බවයි.

එම නිසා නිෂ්පාදනය යම් ප්‍රමාණයකට සීමා කර, එම ජල ප්‍රමාණය ඉදිරි දින 30ක් හෝ 40ක් දක්වා රඳවා ගැනීමට මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටින ප්‍රදේශ සඳහා මණ්ඩලය සතු බවුසර් රථ මගින් සහ පළාත් පාලන ආයතනවල සහයෝගය ඇතිව ජලය සැපයීමට පියවර ගන්නා බවද ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා කියා සිටියා.

“අපි සූදානම් වෙන්නේ නරකම තත්ත්වයක් ඇතිවෙයි කියන උපකල්පනයේ ඉඳගෙනයි. අතරමගදී වැසි ලැබුණහොත් මෙම කළමනාකරණ සැලසුම වෙනස් කළ හැකියි. නමුත් වැසි නොලැබුණහොත් ජලය පාවිච්චි කර අවසන් වූ පසු අපට අලුත් සැලසුම් සෑදිය නොහැකියි,”

පවතින උත්සව සමයත් සමඟ ජල ඉල්ලුම තවත් ඉහළ යා හැකි බැවින්, ඉදිරි සති කිහිපය තුළ පාරිභෝගිකයන් හට යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com