මහ පාරේ රේස් පදින, සෙල්ලම් දාන තරුණයින්ට වැඩ වරදියි
මහ පාරේ රේස් පදින, සෙල්ලම් දාන තරුණයින්ට වැඩ වරදියි
ප්‍රධාන මාර්ගයේ නොහික්මුණු ලෙස වාහන ධාවනය කරමින් පදිකයන්ගේ සහ අනෙකුත් රියදුරන්ගේ ජීවිත අනතුරේ හෙළන පුද්ගලයන්ට එරෙහිව “සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම” යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා පවසයි.
ඉකුත් බදාදා දින(11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, මෙවැනි නීති විරෝධී ක්‍රියා වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින සහ පොලිසියට ලබාදෙන සිවිල් වැසියන්ට මෙන්ම එම වැටලීම් සිදුකරන නිලධාරීන්ටද විශේෂ ත්‍යාග පිරිනැමීමට පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි.
එමෙන්ම මාර්තු 08 වැනිදා මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරුපැදියක් ධාවනය කළ තරුණයෙකු සමාජ මාධ්‍ය වීඩියෝවක් ඔස්සේ හඳුනාගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ඔහු පැවසුවා.
මාර්තු 10 වැනිදා කඩුගස්වට දී ත්‍රිරෝද රථයක් තනි රෝදයෙන් පදවමින් අනතුරුදායක ලෙස හැසිරුණු 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් අතර, පරීක්ෂණයේදී ඔහු ගංජා පානය කර සිටි බව තහවුරු වූ බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා පවසනවා.
එමෙන්ම මාර්තු 11 වැනිදා අතුරුගිරිය සිද්ධියෙදි පොලිස් සංඥා නොතකා පලාගිය 23 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු පොලිස් නිලධාරීන් අනතුරට පත් කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධික ලෙස බීමත්ව සහ ගංජා පානය කර සිටි බව හෙළි වූ බව ඒ මහතා සඳහන් කළා.
කෙසේවෙතත් පොලිස් නිලධාරීන් සෑම තැනකම යෙදවිය නොහැකි බැවින්, මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ දර්ශන තම ඩෑෂ් කැම් (Dash Cam) හරහා හෝ ජංගම දුරකථන හරහා වීඩියෝ කර පොලිසියට ලබාදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එවැනි තොරතුරු ලබාදෙන අයට විශේෂ ත්‍යාග ලබාදීමටද කටයුතු කරන බව සේනාධීර මහතා පවසනවා.
එමෙන්ම ඉදිරි මාස 6ක් ඇතුළත අකුසල ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය සහ පොලිස්පතිවරයා පියවර ගනිමින් සිටින බව ඔහු අවධාරණය කළා.
මීට අමතරව නව රියදුරු බලපත්‍ර ලබාගන්නා අයට පරිවාස කාලයක් හඳුන්වා දී ඇති අතර, එම කාලය තුළ වැරදි සිදුකරන රියදුරන්ගේ බලපත්‍ර කාලය දීර්ඝ කිරීම හෝ බලපත්‍ර අවලංගු කිරීම සිදු වන බව සේනාධීර මහතා පවසනවා.
රථවාහන දඩ මුදල් එම ස්ථානයේදීම ගෙවීමේ ඩිජිටල් ක්‍රමවේදය (GovPay) දැනටමත් හඳුන්වා දී ඇති අතර එය තවදුරටත් පුළුල් කෙරෙන බව පැවසූ ඔහු පෙන්වාදෙනවා.
බොහෝ අනතුරුවලට හේතුව මත්ද්‍රව්‍ය සහ බීමත්කම බව හඳුනාගෙන ඇති බැවින්, මින් ඉදිරියට එවැනි රියදුරන්ට එරෙහිව කිසිදු සහනයක් නොමැතිව “හාඩ්ලෝඩ්” (Hard-load) නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවා.




