නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට – ෆිච් රේටින්ග්ස්
නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම් යුද වාතාවරණය හේතුවෙන් නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බව ලෝක ප්‍රකට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) පවසනවා.
එම ආයතනය පෙන්වාදෙන්නේ, පර්සියානු ගල්ෆ් කලාපයෙන් සිදුවන බලශක්ති සැපයුම දිගින් දිගටම අඩාල වුවහොත්, ඉන්ධන ආනයනය මත යැපෙන රටවලට එහි බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.
මෙම තත්ත්වය හමුවේ අදාළ රටවල විදේශ ප්‍රේෂණ, විනිමය අනුපාත සහ ආයෝජක විශ්වාසය දැඩි පසුබෑමකට ලක්විය හැකි බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වාදෙනවා.
විශේෂයෙන්ම බලශක්ති ප්‍රවාහයට එල්ල වන බාධා පුරෝකථනය කළ කාලයට වඩා දිගු වුවහොත්, ගෝලීය ආයෝජක විශ්වාසය බිඳ වැටී ගෙවුම් ශේෂ අර්බුද තීව්‍ර වීමේ අවදානමක් පවතින බව පෙන්වාදුන් එම ආයතනය පවසන්නේ, බලශක්ති පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ප්‍රාග්ධන ගලා යාම අස්ථාවර වීම හේතුවෙන් මෙම රටවල ණය ශ්‍රේණිගත කිරීම් පහළ යා හැකි බවයි.
එමඟින් පොලී අනුපාත ඉහළ ගොස් රාජ්‍ය මූල්‍ය පීඩනය වැඩිවිය හැකි බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වාදෙනවා.
එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ, තෙල් සහ ගෑස් මිල ඉහළ යාම සෘජුවම උද්ධමනය ඉහළ නැංවීමට හේතු වන අතර, එය ගෝලීය මුදල් ප්‍රතිපත්ති තීරණ කෙරෙහිද තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවයි.






