CID හිටපු අධ්‍යක්ෂක අත්අඩංගුවට
CID හිටපු අධ්‍යක්ෂක අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව එම විමර්ෂන කොමිෂන් සභාව සඳහන් කළා.
කෙසේවෙතත් 2022 වසරේ වාර්තා වූ තොරතුරු වලට අනුව, තිලිණි ප්‍රියමාලි සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශන යටපත් කිරීමේ “මහමොළකරු” ලෙස ප්‍රසාද් රණසිංහ මහතාට චෝදනා එල්ල වී තිබුණා.
තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන සම්බන්ධ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශන සිදු කළ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපතිනිය (ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂා) සහ සැරයන් ගුණරත්න යන නිලධාරීන්ව එම විමර්ශනවලින් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීම යනාදියෙන්ද ඔහුට එල්ල වූ චෝදනාවක් වනවා.
අදාළ විමර්ශන නිලධාරීන් ස්ථාන මාරු කර යැවීම සඳහා විෂය භාර අමාත්‍යවරයා වෙත අසත්‍ය සහ පදනම් විරහිත වාර්තා ලබා දී ඔවුන්ව විමර්ශනවලින් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවටද ප්‍රසාද් රණසිංහ මහතාට චෝදනා එල්ල වී තිබුණා.
එමෙන්ම දේශපාලන සම්බන්ධතා මත තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන සැකකාරියන්ට ඇප ලබා ගැනීමට සහ විමර්ශන ලිහිල් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට මැදිහත් වීම සහ ලිඛිත සාක්ෂි සහ හඬපට මගින් අනාවරණය වී ඇති පරිදි, මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ ප්‍රබල පුද්ගලයන්ව නීතියෙන් බේරා ගැනීම සඳහා පොලිස් බලය අයුතු ලෙස භාවිත කිරීම ආදියෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.




