විදුලි සේවකයින්ගෙන් දැඩි තීරණයක්
විදුලි සේවකයින්ගෙන් දැඩි තීරණයක්
සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තීය සමිති පවසයි. විදුලිබල මණ්ඩලය අහෝසි කර අලුතින් පිහිටවූ සමාගම් හතරේ සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ විදුලි තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 8න් ප්‍රධාන කරුණු 6ක් සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවකට පැමිණීමට බලධාරීන් අපොහොසත් වූ බවයි. පාලනාධිකාරිය සහ වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙහිදී ප්‍රධාන විය.
වෘත්තීය සමිති නායකයින් අවධාරණය කරන්නේ ඉතිරිව ඇති ගැටලු සඳහා ජනාධිපතිවරයා හෝ විෂයභාර අමාත්‍යවරයා මැදිහත් වී තීන්දු තීරණ ගත යුතු බවයි. ඊයේ (10) දිනය තුළ ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි පැය 24 ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගය ඊළඟ පියවර දක්වා තීව්‍ර කරන බවටද ඔවුහු අනතුරු අඟවති.




