නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

0
නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක්

නීතිපති වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක්

නීතිපතිවරයාගේ කාර්යභාරය සහ එම කාර්යාලයේ ස්වාධීනත්වය ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය හරහා දියත් වන අනිසි විවේචන සහ බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි කනස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ .

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

එම සංගමය අවධාරණය කරන්නේ, නීතියේ ආධිපත්‍යය සුරැකීමට නම් නීතිපතිවරයාගේ ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

සාපරාධී කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉටු කරන්නේ අර්ධ අධිකරණමය භූමිකාවක් වන අතර, විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු මත නඩු පැවරීම හෝ නොකිරීම පිළිබඳව තීරණ ගැනීමේ පරම අයිතිය ඔහු සතු වන බව නීතිඥ සංගමය නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

එම සංගමය පෙන්වාදෙන්නේ, අධිකරණ සහ අර්ධ අධිකරණ නිලධාරීන් සිය තීන්දු ගත යුත්තේ පවතින නීතියට අනුකූලව මිස සැමවිටම ජනප්‍රිය මතය අනුව නොවන බවයි.

නීතිපතිවරයාගේ තීරණයක් පිළිබඳව යම් පාර්ශවයක් අතෘප්තිමත් වන්නේ නම්, ඒ සඳහා අභියාචනාධිකරණය හමුවේ රිට් බලතල හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා අධිකරණයේ පිහිට පැතීමට පුරවැසියාට අවස්ථාව පවතින බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළා.

එමෙන්ම නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අයුතු මැදිහත්වීමක් සිදු නොවන බව සහතික කිරීම රජයේ සහ නීතිය බලාත්මක කරන ආයතනවල වගකීමක් බව නීතිඥ සංගමය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com