මාධ්‍යවේදී අසාම් අමීන්ට BBCයෙන් රුපියල් 6,913,233ක වන්දි මුදලක්

0
මාධ්‍යවේදී අසාම් අමීන්ට BBCයෙන් රුපියල් 6,913,233ක වන්දි මුදලක්

මාධ්‍යවේදී අසාම් අමීන්ට BBCයෙන් රුපියල් 6,913,233ක වන්දි මුදලක්

BBC පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන් සිය කම්කරු අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවට එරෙහිව පැවරූ කම්කරු නඩුවෙහි තීන්දුව ප්‍රකාරව ඔහුට ගෙවිය යුතු රුපියල් මිලියන 7ක මුදල එම ආයතනය විසින් අසාම් අමීන් වෙත ලබාදී තිබේ

මාධ්‍යවේදී අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවන’ බව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව විසින් 2024 වසරේදී තීන්දුවක් ලබාදී තිබුණි.

ඒ අනුව ඔහුට රුපියල් 6,913,233ක වන්දි මුදලක් ගෙවන ලෙසට කම්කරු විනිශ්චය සභාව නියෝග කළා.

අප්‍රේල් 26 වනදා අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ බීබීසී පුවත් සේවයේ, විශේෂයෙන් බීබීසී නියෝජිත ඉයන් හැඩෝ විසින් අත්තනෝමතිකව සහ සිය තනතුරේ බලය භාවිත කරමින් ක්‍රියා කර ඇති බවයි.

මෙරට ප්‍රකට දේශපාලකයෙකු සහ රංගන ශිල්පියෙකු වන රන්ජන් රාමනායක මහතා සමග පැවැත්වූ බව පැවසෙන දුරකථන සංවාදයක විකෘති කරන ලද හඬපටයක් ප්‍රසිද්ධියට පත්වීම හමුවේ මාධ්‍යවේදී අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට බීබීසීය ගත් තීරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව කම්කරු විනිශ්චය සභාව විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කළුතර කම්කරු විනිශ්චයාධිකාර සභාපතිනී අලංකා ඩී ඇන්තනී මහත්මිය පැවසුවේ, මාධ්‍යවේදී අසාම් අමීන් බීබීසී පුවත් සේවයට අනුයුක්තව සේවය කළ පසුගිය වසර දහයක සේවා කාලය තුළ නොකැළැල් සේවා වාර්තාවක් පවත්වා ගනිමින් රාජකාරිය සිදුකර ඇති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂිවලින් පෙනී යන බවයි.

එමෙන්ම ආයතනය මගින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් හෝ සිදු කිරීමට මාධ්‍යවේදී අසාම් අමීන්ට අවස්ථාවක් ලබා නොදී ඔහුව සේවයෙන් පහ කර ඇති බව පෙනී යන බව කම්කරු විනිශ්චයාධිකාර සභාපතිනිය සිය නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

රන්ජන් රාමනායක මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාධ්‍යවේදී අසාම් අමීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එවකට තර්ක කළේ, එම මාධ්‍යවේදියා බීබීසීයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කිසිදු ප්‍රවෘත්ති ආවරණයක් හෝ වාර්තාකරණයක් සිදු කර නොමැති බවයි.

BBC ආයතනයේ නියෝජිත Ian Haddow විසින් අසාම් අමීන්ගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම බලහත්කාරයෙන් BBC ආයතනයට අනුබද්ධ කරන ලද බවත්, BBC ආයතනයේ ඉහළ අධිකාරියට ඒ බව දැනුම්දීමෙන් අනතුරුව එම Ian Haddow සිය වරද පිළිගෙන, අසාම් අමීන්ගේ සමාජ මාධ්‍ය ගිණුම යළි එහි මුල් තත්ත්වයට හරවන ලද බවට මෙන්ම ඔහු විසින් අසාම් අමීන්ව අසාධාරණ සැලකීමකට ලක්කළ බව සාක්ෂි සහිතව තහවුරු වී ඇති බවටත් කම්කරු විනිශ්චයාධිකාරය සෑහීමට පත්වි තිබුණා.

ඒ අනුව මාධ්‍යවේදී අසාම් අමීන් වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කම්කරු විනිශ්චයාධිකාරයේ සභාපතිනිය නිවේදනය කළේ ඔහු සේවය කළ බීබීසීයේ ‘සිංහල සේවය’ වසා දමා ඇති බැවින් යළි සේවයේ පිහිටුවීම කළ නොහැකි හෝ එය ප්‍රායෝගික නොවන බවයි.

කෙසේ වෙතත්, කම්කරු විනිශ්චයාධිකාරයේ සභාපතිනිය නියෝග කළේ 2010 සිට 2020 දක්වා වූ වසර 10ක කාලයක් වන මාධ්‍යවේදී අසාම් අමීන්ගේ සේවා කාලය සඳහා බීබීසීය විසින් අසාම් අමීන්ගේ සේවය අසාධාරණ ලෙස අවසන් කිරීම වෙනුවෙන් වන්දි ලබා දිය යුතු බවයි.

“අසාධාරණ ලෙස සේවා නියුක්තිය අවසන් කිරීම සම්බන්ධයෙන් අයදුම්කරුට වන්දි ලබා දීම සාධාරණ හා යුක්ති සහගතය. එය වසර 10කට ආසන්න කාලයක් පුරා විහිදෙන ඔහුගේ සේවා කාලයේ සෑම වසරකම එක් මසක වැටුපට දළ වශයෙන් සමාන වන මාස දහයක වැටුප ප්‍රදානය කිරීම ලෙස සිදු කළ යුතුය” යනුවෙන් කම්කරු විනිශ්චය සභාව විසින් තීන්දු කර තිබුණා.

එමෙන්ම, මාධ්‍යවේදී රංග ශ්‍රීලාල් මහතාගේ සේවක අර්ථසාධක අරමුදලේ හිඟමුදල, පරිතෝෂිතය සහ අධිභාරය ලෙස රුපියල් ලක්ෂ 62ක මුදලක් ගෙවන ලෙස කොළඹ දකුණ සහකාර කම්කරු කොමසාරිස් කළ නියෝගයක් අත්හිටුවන ලෙස රොයිටර්ස් පුවත් සේවය විසින් (Refinitiv Limited (Formerly Reuters Limited) ගොනු කළ රිට් පෙත්සම අවංක භාවයක් නොමැතිව ගොනු කර ඇති බවත්, රිට් අධිකරණ බලය අවභාවිත කර ඇති බවත්, මාධ්‍යවේදී රංග ශ්‍රීලාල්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්වලට අනවශ්‍ය අගතියක් ඇති කර ඇති බවත් තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ මහතා, එම රිට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළා.

රුපියල් ලක්ෂයක මුදලක් රංග ශ්‍රීලාල් මහතාට නඩු ගාස්තු ලෙස ගෙවීමටද රොයිටර්ස් වෙත නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com