සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය
සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය
පවතින අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම, ඒවා තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ක්‍රම තීරණය කිරීම සහ පිරිවැය අවම කිරීම උදෙසා නවීන තාක්ෂණයන් භාවිත කිරීම ආදී අරමුණු සහිතව සහස්යා ආයෝජන සමාගම පිහිටුවීම සඳහා 2020-10-12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, අදාළ අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් සහ කළමනාකරණය සහස්යා ආයෝජන සමාගම වෙත පැවරීම කළමනාකරණ ගිවිසුමක් මඟින් විධිමත් පරිදි සිදු කිරීම පිණිස 2024-03-25 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
එහෙත්, මේ වන තෙක් සහස්යා ආයෝජන සමාගමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර නොමැති අතර, සමාගම සංස්ථාපනය කළ දින සිට එහි අරමුණු හා අනුකූල වන කිසිදු ක්රියාකාරකමක්ද සිදු කර නොමැති බවයි සඳහන් වන්නේ.
ජාතික මාර්ග සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම, ඉදි කිරීම සහ නඩත්තු කිරීම ආදී කටයුතු 1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනත මඟින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇති අතර, එම වත්කම් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව, ආයතනික හැකියාව සහ දිගුකාලීන වත්කම් කළමනාකරණ දැක්මක් එම ආයතනය සතු ව පවතින බැවින්, අදාළ වත්කම්වල අයිතිය හෝ පාලනය සහස්යා ආයෝජන සමාගමට පැවරීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති නීතිමය අධිකාරිත්වය ඉක්මවා යාමක් විය හැකි බව හඳුනාගනු ලැබ තිබෙනවා.
එබැවින්, එම කරුණු සැලකිල්ලට ගෙන, සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමටත්, අධිවේගී මාර්ග ජාලය, ඒ ආශ්රිත ඉඩම් සහ ඊට අදාළ අනෙකුත් කාර්යයන් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ වෙනම මෙහෙයුම් ඒකකයක් මඟින් කළමනාකරණය කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.




