ලිබියාවේ හමුදා ප්‍රධානියා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
ලිබියාවේ හමුදා ප්‍රධානියා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
ලිබියාවේ හමුදා ප්‍රධානි ජෙනරාල් මොහොමඩ් අලි අහමඩ් තුර්කියේ සිදු වූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ.
තුර්කියේ සිට ලිබියාව බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලිබියානු හමුදා ප්‍රධානි ජෙනරාල් මොහොමඩ් අලි අහමඩ් සහ තවත් සිව් දෙනෙකු මෙම අනතුරින් මියගොස් ඇත.
ගුවන් යානය ඊයේ අන්කාරා අගනුවරින් ගුවන් ගතවී විනාඩි 40 කට පමණ පසු එය කඩා වැටී ඇති බව වාර්තා වේ. යානය අනතුරට ලක්වීමට පෙර හදිසි ගොඩබෑමක් සඳහා අවසර ඉල්ලා ඇති බව තුර්කි බලධාරීන් පවසයි. කෙසේ නමුත් අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.
ලිබියානු අගමැතිවරයා පවසන්නේ, හමුදා ප්‍රධානියාගේ වියෝව දරාගත නොහැකි පාඩුවක් බවයි. අතිශය කැපවීමකින් හා අවංකව සේවය කළ හමුදා නිලධාරියෙකු රටට අහිමි වී ඇති බව ඔහු පවසා ඇත.
ලිබියානු හමුදා ප්‍රධානියා ආරක්ෂක සහ යුදමය සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීම සඳහා තුර්කිය බලා ගොස් යළි පැමිනෙමින් සිටිය දී මේ අනතුර සිදුව තිබුණි.





