ජනාධිපතිගෙන් විදුලි බල මණ්ඩලේ සේවකයන්ට තර්ජනයක්?

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ටැංකි 06ක ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා වන සමාරම්භක වැඩසටහන අද (17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහි දී සිය කතාව තුළ සේවකයන්ගේ කාර්යයන් සිදු කල යුතු ආකාරය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රටේ අනාගතයට ජනතාවට අහිතකර ලෙස බලපාන අයිතිවාසිකම් නොදෙන බවයි. එසේම ඔහු විදුලි බල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳවද ඉතා සැර ප්‍රකාශයක් සිදු කරන ලදී.
“රටේ අනාගතයට ජනතාවට අහිතකර ලෙස බලපාන අයිතිවාසිකම් කිසිවක් දෙන්නේ නැහැ. මොකද අපි මේ රට යළි අලුතින් ගොඩනගන්න ඕනා. අලුතින් ගොඩනගන්න දේශපාලන අධිකාරිය විදියට අපේ පැත්තෙන් අපි සියල්ල කරලා තියෙනවා. ඕනවටත් වඩා කරලා තියෙනවා.”
එසේම තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති වල ඓතිහාසික ක්‍රියාමාර්ග පිළිබඳවද මතක් කරමින් කියා සිටියේ ඉතිහාසයේ ඡන්ද පොළවල් මංකොල්ල කන්නත් තෙල් සංස්ථාවේ සංගම් ප්‍රයෝජනයට ගෙන තිබූ අතරදැන් අලුත් වෙනසට සූදානම් වන ලෙසයි.
“ඕන යුනියන් එකක වැඩකරන්න, හැබැයි ආයතනයේ වුවමනා එක්ක ගැටගැහෙනන්න”
“ඉතිහාසයේ ඡන්ද පොළවල් මංකොල්ලකන්න, අනික් පාක්ෂිකයින්ට හිරිහැර කරන්න තෙල් සංස්ථාවේ සේවක සේවිකාවන් උපයෝගී කරගෙන තියෙනවා. හැබැයි පහුගිය දේශපාලන මාරුවීමේදී මොන යුනියන් එකේද මොන පක්ෂෙද කරේ කියලා කිසිදු කෙනෙකුට කිසිදු ආකාරයේ හිංසාවකට තර්ජනයකට මුහුණ දෙන්න සිදු වුණේ නෑ. මට කියන්න එහෙම කවුරුහරි ඉන්නවා නම්… ඕන දේශපාලනයක වැඩ කරන්න ඕන යුනියන් එකක වැඩ කරන්න හැබැයි , ආයතනයේ තියෙන මූලික උවමනාවන් එක්ක ගැට ගැහිලා වැඩ වැඩකරන්නන ඕනේ. හොඳට මතක තියාගන්න මොකද. අපේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන්නේ පැරණි විනාශකාරී අන්තයම ද ඒ ගමනම ද? පැරණි විනාශකාරී ගමන නම් අපේ ජනතාව අපේක්ෂා කරන්නේ, අපිට ඡන්දය දෙන්න නෑ. පැරණි විනාශකාරී ගමනම නම් යන්න ඕනකම තිබුණේ ඒගොල්ලෝ පැරණි පාලකයෝම තෝරගන්නවා.. පැරැණි පාරෙ යන්න අපි ඕන්නෑ. ඒකට සුදුසුකම් ලබපු කප් ගහපු කට්ටිය ඉන්නවා. අපිව ඕන වෙන්නේ අලුත් පාරක යන්න. හැබැයි අලුත් පාරක ගමන් කරනකොට පරණ පුරුදු පරණ ඇබ්බැහි කම්, පරණ මතවාද යම් ප්‍රමාණයකට බලපෑම් කරන බව අපිත් දන්නවා. ඒවායෙන් ටිකක් වෙනස් වෙන්න සූදානම් නැති බව අපි දන්නවා. හැබැයි මම හැම සේවක මහත්ම මහත්මියකුගෙන්ම ඉල්ලන්නේ මේ අලුත් වෙනසට ලෑස්ති වෙන්න.”
මෙහිදී ජනාධිපතිවරයා විදුලි බල මණ්ඩලයේ සේවකයන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව එහිදී අදහස් දක්වන ලදී. එහිදී ජනාධිපතිවරයා සිදු කළ පහත ප්‍රකාශයෙන් පෙනී යන්නේ කොතෙක් වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළද ආණ්ඩුවේ තීරණ එලෙසම ක්‍රියාත්මක කරන බවයි.
මේ ඇති කරන දේශපාලන පරිවර්තනයන්ට ඉතාමත් පටු දේශපාලන වුවමනාවන් බාධා කරන්න ලෑස්ති වෙන්න එපා.
“විදුලිබල මණ්ඩලය ඉතාමත් වැදගත් ආයතනයක්. සේවකයන් 26,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. කොතනද අර්බුදය තියෙන්නෙ කියලා තොරගන්න බැරි තරමට ප්‍රශ්න තියෙනවා. එක එක අය එක එක තැනට ඇගිල්ල දිගු කරනවා. අර්බුදයට අයිතිකාරයෙක් නෑ. එවා විසඳන්න එක එක අය විවිධ යෝජනා කරලා තිබුණා. සමහරු පෞද්ගලීකරණය කරන්න යෝජනා කරලා තිබුණා. අපි ඇවිත් ඒ පරණ යෝජනා වෙනස් කළා. පරණ එක වෙනස් කරපු එක අපරාධයක්ද? පරණ එක වෙනස් කරපු නිසා තමයි සේවක මහත්වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන්නේ.
“දැන් මම විදුලි බල සේවක මහත්තුරුන්ගෙන් අහන්නේ,’ පරණ එක වෙනස් කරපු එක අපරාධයක්ද?’ දැන් අකුරට වැඩ කරනවා, ලෙඩ නිවාඩු ගන්නවා. ගන්න කියන්නකෝ… , මෙහෙම වැඩකරන්න බෑ.”
ඒ නිසා අපි සමාගම් කීපයක් ගොඩනගනවා. සේවක මහත්තුරුන්ට අපි කාලය දීලා තියෙනවා ඒ සමාගම් වලින් කැමති සමාගමක් තෝරාගන්න. මාස දෙකක කාලයක් තියෙනවා. තමන් කිසි සමාගමකට යන්න කැමති නැත්නම් තමන්ට යන්න පුළුවන්. මේවට අකුල් හෙලන්න බැහැ කාටවත්.
-whatnews-