ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් හබරණ නව ග්‍රිඩ් උපපොළ විවෘත කරයි

ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කරමින් හබරණ නව ග්‍රිඩ් උපපොල විවෘත කරයි
ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් හා ස්ථාවර කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් තබමින් හබරණ ප්‍රදේශයේ අක්කර 16ක භූමියක ඉදිකළ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නව ග්‍රිඩ් උපපොල විවෘත කිරීම ඉකුත් සඳුදා දින (03) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මැතිතුමාගේ සහභාගීත්වයෙන් හබරණ දී සිදුකළා.
පුනර්ජනීය බලශක්ති සම්ප්‍රේශනය කිරීම, සම්ප්‍රේෂණ ධාරිතාව වර්ධනය කිරීම සහ බල සැපයුමේ විශ්වාසනීයත්වය වැඩි කිරීම සහ විදුලි සම්ප්‍රේෂණ ශක්ති හානිය අඩු කිරීම ආදී බහුවිධ අරමුණු ඉලක්ක කරමින් ඉදිවන කිලෝමීටර 146ක කිලෝ වොල්ට් 220ක හබරණ වේයන්ගොඩ විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ එක් වැදගත් පියවරක් ලෙස ඉහත හබරණ නව ග්‍රිඩ් උපපොළ විවෘත කිරීම හඳුන්වාදිය හැකියි.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ මේ සඳහා යොදා ගන්නා ලද විදුලි රැහැන් අඩු ප්‍රතිරෝධයකින් (Low Loss Conducted) සමන්විත බැවින් විදුලිය සම්ප්‍රේෂණයේදී සිදුවන ශක්ති හානිය අවම වීමයි.
එසේම නොරොච්චෝලේ බලාගාරයේ නිපදවෙන බලශක්තිය බෙදා හැරීම සඳහා තවත් අමතර මාර්ගයක් නිර්මාණය වන බැවින් සමස්ථ විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය වැඩි කිරීමටද මෙම රැහැන් මාර්ගය හා ග්‍රිඩ් උපපොල දායක වනවා.